පාහියන්ගල ලෙනෙන් මතු වූ වර්ෂ 12,000 ක් පමණ පැරැණි මිනිසා ගැන පුවතක්


 පාහියන්ගල පින්තූර  මෙතනින් බලන්න

 

කුඩා පින්සලකින් ඉවත් කර පස් තට්ටු අතරේ දූවිලි දුමාරයට මැදිව මේ සොයන්නේ කාලයේ ලවැල්ලෙන් මීට වසර දස දහස් ගණනකට පෙරදී සැගවී ගිය මානවයා සතු අභිමානනීය අතීතයේ සලකුණුය.අව්වේත්,වැස්සෙත්,කන්දේත්,තැන්නේත්,ගුහාවෙත්,එළිමහනෙත් කිසිදු වෙනසක් ඔවුන්ට නැත.ඒකායන පැතුම පුරාමානවයාගේ කියුම් කෙරුම් සළකුණු වූ අවශේෂයන්ගේ තිත් රේඛා මතු කරගැනීමය.
                                              දවසින් දවස අලුත් වන්නා වූ තාක්ෂණික ක්‍රම ශිල්ප යටතේ පිරිපුන් වන දැනුම එක් තැනක නතර කොට සැනහෙනු නොහැක්කකි.ඒනිසාවෙන්ම වරෙක කැණීම් කළ බුලත්සිංහල පාහියන් ලෙනට යළිත් කැනීම් කරන්නට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව කටයුතු යෙදුවේ.ඒ පාහියන් ලෙනේ පස් ස්තර තවදුරටත් නවීන තාක්ෂණය නව කාලනීර්ණ ක්‍රම ඔස්සේ අධ්‍යයනය කිරීම පිණිසය.
                                         1968 තරම් වූ අතීතයේ දවසකදී හිටපු ‍කෞතුකාගාර අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු වූ පි.ඊ.පි.දැරණියගල පාහියන් ලෙස සොයාගනිමින් එහි කැනීම් කළේය.ඒත් ඒ වකවානුවේදී අද තරම් නිවැරදිව සාධක කාලනීර්ණය කරන්නට පහසුකම් දියුණුව නොතිබිණි.එනිසාම 1986 වසරේදී නැවත වරක් අචාර්ය ශිරාන් දැරිණියගල,අචාර්ය ඩබ්.එච්.විජේපාලගේ ප්‍රධානත්වයෙන් පාහියන් ලෙන කැණීම ආරම්භ කළේය.
                                             ඒ කැණිමෙන් ලංකාවේ පැරැණිම මානව අවශේෂ අවුරුදු 37,000 ක් දක්වා දිවෙන බවට සොයාගන්නට හැකිවිය.දකුණු ආසියාවේ විශාලතම ලෙන වූ පාහියන් ගලෙන් ලැබි මානව අවශේෂ අතර අවුරුදු 5500 සිට 28,000 දක්වා පැරැණි මානව හිස්කබල් පහක්ද හමුවිය.මානවයාගේ පැරැණිම සාධක රැඳි කුරුවිට බටඳොඹ ලෙනත් ,පාහියන් ලෙනත් හමුවමානව සාධක බලං‍ගොඩ මානවයා හෙවත් වර්තමාන මිනිසාට ළංවූ ලක්ෂණ දක්වන්නා වූ හෝමෝ සේපියන් සේපියන් ලක්ෂන පෙන්නුම් කරන්නට විය.මේ ලෙන් කැණීම් මගින් සොයාගත් පුරා අවශේෂ අතරින් පුරාණ මානවයා සතු වූ ජනාවාස ක්‍රමය,ආහාර රටාව,අභිචාර විධි,තාක්ෂණය,අන්තර් මානව සබඳතා මෙන්ම අතීත කාලගුණික දේශගුණික තත්ත්වයද,සත්ත්ව,ශාක සංහතීන් පිළිබඳවද කරුණු කාරණා අවබෝධ කරගන්නට හැකි විය.
              පුරාවිද්‍යාඥයන් පහසුවකට පසු නොබසින්නේය.එහෙයින්ම එවර පාහියන් ලෙන තුළ වූ කැණීම් කටයුතු නිමව වසර විස්සකට වැඩි කාලයක් ගෙවී ගියද ආචාර්ය ශිරාන් දැරණියගලයන්ට තම පැසුණු බුද්ධිය නිතර පැවසූ රහසක් විය.ඒ මේ බිම මත මෙතෙක් හෙළිදරව් කරගත්තාට වැඩි යමක් සැඟව තිබිය හැකි බවය.
                                         ඉන්දියාව වැනි රටවල් අපගේ අතීතය ප්‍රශ්න කරන්නටත් එහි කාලනිර්ණයන් පිළිගැනීමටත් අදිමදි කරන කල නැවත නැවතත් අතීතය හාරන්නට මේ පුරාවිද්‍යාඥයන්ට ඇවැසි විය.


මෙය මව්බිම පුවත්පතෙන් උපුටාගන්නා ලදී...