ආදි අනුරාධපුර සමය

                                                      

                       දඹදිව අසෝකරජුගේ කාලේ වනවිට උතුරුබාරතෙන් ආපු ආරියබාසාවක් කතාකළ සිංහල ජනයා මේ දිවයිනේ නොයෙක් පෙදෙස් වල ජනාවාස පිහිටුවගෙන තමන්ගේ දිවිපෙවතට උවමනා වී ගොවිතැනෙත් ගවයන් ඇති කිරීමෙත් අත්තම් ආදියෙත් පුහුණුව ඇතිකරගෙන වෙළදාමෙත් සෑහෙන තරමකට යෙදිල රටේ පාලනයට උවමනා සංවිදානත් ඇතිකරගෙන හිටිය.මේ ආරිය ජනාවාසවලින් උතුරු පෙදෙසේ අනුරාධපුරයත් දකුණේ දිගාවැවත් අනික්වාට වැඩියෙන් දියුණුව තිබුණ.
                                                                   මිහිඳුරහතුන්නාන්සෙ සිංහලේට පැමිණෙන්න ටිකකලකට  ඉස්සර වෙල ඒ කාලෙදි මේ දිවයිනේ අනුරාධපුරේ අදිපති වෙලා හිටිය තිස්සනරපතියා අසොකසක්විත්තන්ට පඬුරු දීල දූතයන් යැව්ව.ඒ පඬුරු ලැබිල පැහැදුණු අසොකනරනාතයා තිස්සට රාජාබිසේකයට උවමනා සියළු උපකරණ ඇතුළුව පිළිපඬුරු එව්ව.එ උපකරණවලින් තිස්ස රාජාබිසේක ලැබුව.තිස්සරජුට ඉස්සර මේ රටේ අබිසෙස් ලත් රජුන් හිටියේ නැහැ කියල පැහැදිලිව ම කියල තියෙනව.පුරාණ සිංහලරජුන් අතර බාවිතාවේ පැවැති ගාමයේ (සමූහයේ) නායකයා යන අරුත ඇති ගාමණී (සකු-ග්‍රාමණී;එළු-ගැමුණු )යන අබිදානෙනුත් මේ බව ඔප්පු වෙනව.දෙවිවරුන්ගෙ යාළුවා යන අරුත ඇති දේවානම්පිය (‍දෙවනපෑ) යන අබිදානෙ තිස්සරජුගෙ නමට පෙරටුව යෙදිල තියෙනව වංසකතාවල.මේ අබිදානයෙනුයි අසොකනරාදිපයින් තමුනුත් තමන්ට පෙර හිටිය මගදරජුනුත් තමන්ගේ සාසනවල සඳහන් කරල ඇත්තේ.අසෝකරජුට පසුව මගදරජ ව හිටිය එයාගේ මුනුබුරා දසරතන් මේ අබිදානේ බාවිතා කරල තියෙනව.මොරිය රජ පෙළපත නැතිවුනායින් පස්සේ බාරතේ රජුන් අතර බාවිතාවෙන් ගිලිහිල ගිය මේ අබිදානේ දේවානම්පියතිස්ස රජුට පසුවත් දෙසිය අවුරුද්දක් පමණ යනතුරු සිංහල රජුන් අතර බාවිතා වුනා.මගදරාජ්ජේ අනුව යමින් සිංහලරාජ්ජේ පිහිටවපු බව මෙයින් එලිවෙනව.
             බුදුන් දහම් සඟ යන තුනුරුවන සරණ ගොහින් උපාසකයෙක් වෙල තමා සිටින බව පවසල තිස්සත් එහෙම කළොත් හොඳයි කියන සන්දේසෙකුත් අසොක මහීපාලයා සිංහල නිරිඳුන්ට එව්ව.මේ ආකාරයෙන් මහිඳුරහතුන්නාන්සෙගෙ සිංහලගමන සපල වෙන්නට උවමනා කරුණු සැලසුණාට පස්සෙ යි උන්වහන්සෙ පොසොන් පුර පසලොස්වක් දවසක මිහින්තලේට වැඩල තිස්සරජු හමුවුනෙ.සිංහලරජුත් ඇමතිවරුත් මහජනයාත් බාරතෙන් ආ තෙරුන්වහන්සේ හරසරින් පිළි අරගන උන්වහන්සේ දෙසූ දහ‍මෙ හොඳට ම පැහැදුන.මිහිඳුරහතුන්නාන්සෙටත් උන්වහන්සෙ සමග ආ අනිත් තෙරුන්ටත් උන්වහන්සේලා දෙසු දහම් අහල සිංහලරාජ්ජෙ පැවිදි වෙල හිටිය අයටත් වාසයට විහාර පිහිටෙවුව අනුරාදපුරෙත් මිහින්තලෙත්. සැදැහැවතුන්ට වැඳුම් පිදුම් කරගැනීමට දාගැබක් බුදුන්ගේ දකුණු අකුදාතුව නිදන් කරල අනුරාදපුරේ පවුරෙන් පිට තැනෙව්ව.බුද්දගයාවේ බුදුන් පිට දුන් බොදියේ සාකාවක් ගෙනැත් අනුරාදපුරයට දකුණෙන් තිබුණු රජමාලිගාවත්තේ හිටෙව්ව.මිහිඳු මාහිමියන්ගේ සොහොයුරී සංඝමිත්තාතේරීයි මේ බෝදිසාකාව වැඩමවාගෙන ආවෙ.එ තෙරිණියෝ ගැහැනුන් පැවිදි කරවල මෙහෙණිසස්නත් මේ රටේ ඇති කළා.ථූපයත් බෝදියත් බුදුන් සිහි කරවන නිමිති හැටියට සැලකුව.එයින් එකකට වැඳීමෙනු යි ආදිකාලයෙ සැදැහැවතුන් මුනිඳුන්ට බැතිය පළ කළේ.
                                   සිංහල ජනයා මේ දිවයිනේ පදිංචි වුනු අයුරුත් බුදුදහම තමන්ගේ සමය හැටියට පිළිගත් හැටිත් පොත්පත්වල එන කතාවලින් වටහා ගන්න පුළුවන් මෙහෙම යි.මේ තොරතුරු බොහො සෙයින් මේ විදියට ම පුරාවස්තුවලිනුත් එලි වෙනවා.




මතු සම්බන්ධය.........................!