ශ්‍රී දළදා මාළිගාව

ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ.
ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592 - 1604) රජතුමා විසිනි.
දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව පෙනේ.
දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.
මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.
-----------------------------------------------------------------------------------

දන්ත ධාතූන් වැඩහිඳිනා භූමිය

 මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැළයත් හන්තාන කඳුවැටිය එක්පසකින් හා බහිරව කන්ඳ තවත් පැත්තකින් වටවු මහනුවර රාජධානිය සෞම්‍ය දේශගුණයකින් යුක්තය.ඕනෑම භෝගයක් වැවිමට තරම් සශ්‍රිකය.අලුත් නුවර,මැදමහනුවර, හඟුරන්කෙත නුවර, නිළඹේ නුවර, සෙංඛඩගල නුවර, හා ගලේ නුවර, දළඳා වහන්සේගේ ආරක්ෂිත ප්‍රදේශ වේ.

--------------------------------------------------------------

දළදා මාළිගයේ ඉතිහාසය

                    මුල් අවධියේ මහනුවර හැඳින්වුයේ "ශ්‍රි සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රි වර්ධනපුරය" ලෙසය.දඹදෙනි රාජධානියේ හතරවනපරාක්‍රමබාහු (ක්‍රි.ව 302-1326)රජතුමාගේ බෑනා කෙනෙකු වු සිරිවර්ධන නැමති අය විසින් ක්‍රි.ව 1312 දී එවකට කටුපුල්ලේ නමින් හැඳින්වු ප්‍රදේශය අසල "සෙංකඩගල සිරිවර්ධනපුරය "නමින් නගරයක් ආරම්භකොට ඇත.තවත් ජනප්‍රවාදයක් නම් සෙංඛණ්ඩ නම් බ්‍රාහ්මණයෙකුගේ නමින් මේ නගරය ඉඳිවු බවත්,තුන්වන වික්‍රමබාහු නම් රජුගේ අගමෙහෙසිය වු සෙංඛණ්ඩා නම් දේවිය නමින් මේ නගරය ඉඳිවු බවත්,මෙහි තිබූ සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල්කොටගෙන මේ නම ඇතිවු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.ගම්පොල රාජධානියේ පාලකයා වු තෙවන වික්‍රමබාහු රජසමයේ (ක්‍රි.ව 1357-1374) දළඳා මැඳුර සහා ලෝකේෂ්වර නාථ දෙවියන් සඳහා වු නාථ දේවාලය මෙහි ඉඳි විය.අස්ගිරිතල්පතෙහි සඳහන් අයුරු අස්ගිරි විහාරය ආරම්භ වුයේද මෙකලය. වර්තමානයේ මේවා මහනුවර පැරණිතම ගොඩනැගිළි.ගම්පොල රජ පවුලෙන් පැවත ආ සේනා සම්මත වික්‍රමබාහු (ක්‍රි.ව 1469-1511)රජු විසින් සෙංකඩගල පුරය ලෙස නම් කරන ලදි.ඔහු මහනුවර රාජධානියේ නිර්මාතෘවරයා ලෙස සැලකේ. බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැම්පත්කර චෛත්‍යක්, දෙමහල් පොහොය ගෙයක් ,සංඝාවාසයන් 86 ක් කරවා හා ධාතු කරඬු සහ පිළිම වහන්සේලා පූජා කරමින් පොතපත පලකරමින් විශාල මෙහෙයක් කර ඇත. සීතාවක පළමු රාජසිංහ රජු ,ජයවීර(ක්‍රි.ව 1511-1552),කරල්ලියද්ද බණ්ඩාර(ක්‍රි.ව1552-1582)පළමු විමලධර්මසූරිය(ක්‍රි.ව 1590-1604)සිංහලයේ අවසන් රජු ශ්‍රි වික්‍රම රාජසිංහ (ක්‍රි.ව 1798-1815)දක්වා රජවරු 10 දෙනෙකු මහනුවර රාජධානිය කරගෙන ඇත. සතුරු උවදුරු හැරුනුවිට අන් සෑම අවස්ථාවකදීම දළඳා වහන්සේ වැඩසිටියේ රජ මාළිගාව ආසන්නයේය.දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාකර ගැනිම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා බවට පිළිගැනීමක් පැවතුනි. දෙවන විමලධර්මසූරිය රජු තුන් මහල් ප්‍රාසාදයක් කරවු අතර මඟුල් මඞුව හා පත්තිරිප්පුව දේවේන්ද්‍ර,මූලාචාරියා නැමැත්තන් ඉඳිකර ඇත.

--------------------------------------------------------------

දියවඩන නිළමේ තනතුර

                    පුරාණයේ රජවරු විසින් මෙම තනතුර පත්කළ අතර බ්‍රිතාන්‍ය සමයේ වැඩවසම් රාජකාරි ක්‍රමය අවසන් කර ඡන්දයකින් තෝරාගනි.වර්ථමානයේ 1931 කේ 19 වන ආඥා පනත යටතේ දියවඩන නිළමේවරයා පත් කරයි .දියවඩන නිළමේ තනතුර සඳහා මූලාශ්‍ර ලැබෙනුයේ මහනුවර යුගයේ සිටය.දළඳා වහන්සේ සම්බන්ධයෙන් දාතූවංශයේ සඳහන් වන පරිදි ප්‍රථම නිළය වශයෙන් "දාතූරක්ඛකාධිකාරි"තනතුර දක්නට ලැබේ. සීතාවක දෙල්ගමුව රජමහා විහාරයේ දාතූන් වැඩසිටි සමයේ හිරිපිටිවේ දිවනිලමේ නමින් තනතුරක් සඳහන් වේ.කෝට්ටේ යුගයේ මෙම තනතුරු නාමය වෙනුවට "දිවන රාළ" ,"දියවඩන රාළ" වශයෙන් හැඳින්විය.දිවනිළමේ ,දියනිළමේ යනුද දියවඩන නිළමේ යන්නට බොහෝ තැන්වල ඇත.මහනුවර මහා වාසල සම්බන්ධව දියවඩන නිළමේ තනතුරු තුනක් විය. රජුගේ රාජකීය උල්පැන්ගේ ස්නානාදි කටයුතු භාරව හා රජතුමා ආහාර ලන්නා අවස්ථාවේදි රන් කොතලයෙන් ජලය වැඩිම භාරව සිටි දියවඩන නිළමේ ,බිසෝවරැන්ගේ හා කුමාරයන්ගේ පල්ලේවාහල ස්නානාගාරය භාරව සිටි දියවඩන නිළමේ,රජු දළඳා මාළිගයට පැමිණි විට අතපැන් වැඩීමටත් ,මුළුතැන් බුද්ධ පූජාවට පැන් පයිංඩ කිරිමට හා නානුමුර මංගල්‍යයට නානු පයිංඩ කිරිමටත් වශයෙනි. දළඳා මාළිගයේ ගිහි භාරකාරයා හා රන් කරඬුවල ප්‍රථම මහ රන් කරඬුවේ රන් යතුර භාරකාරවරයා දියවඩන නිළමේය.මුල් අවධියේ රජතුමා වුවත් 1853 න් පසු ගිහි භාරකාරයා වන්නේ දියවඩන නිළමේතුමාය.දියවඩන නිළමේතුමාගේ නිළ කාලය වසර 10 ක් යන අතර එතක් පටන් මේ දක්වා දියවඩන නිළමේවරු 19 දෙනෙක් පත්විය.

 

දියවඩන නිළමේවරු වර්ෂය
කපුවත්තේ අධිකාරම් නිළමේතුමා 1814-1824
දෙහිගම ලොකු බණ්ඩාර නිළමේතුමා 1825-1827
කුඩා මොල්ලිගොඩ නිළමේතුමා 1827-1828
කුඩා දෙහිගම නිළමේතුමා 1828-1835
මුල්ලේගම අධිකාරම් නිළමේතුමා 1835-1842
දුල්ලැව අධිකාරම් නිළමේතුමා 1842-1848
.ලොකු බණ්ඩාර දෙහිගම නිළමේතුමා 1848-1862
.කුඩා බණ්ඩා දුන්විල නිළමේතුමා 1862-1882
කුඩා මුදියන්සේ ගිරාගම නිළමේතුමා 1882-1897
සෙනවිරත්න රත්වත්තේ නිළමේතුමා 1897-1901
කුඩා බණ්ඩාර නුගවෙල නිළමේතුමා 1901-1916
පුංචි බණ්ඩා නුගවෙල නිළමේතුමා 1916-1937
ටිකිරි බණ්ඩා රත්වත්තේ නිළමේතුමා 1937-1947
කුඩා බණ්ඩා නුගවෙල නිළමේතුමා 1947-1961
හැරිස් ලෙව්කේ රත්වත්තේ නිළමේතුමා 1961-1964
හීන්බණ්ඩා උඩුරාවන නිළමේතුමා 1964-1974
ආචාර්ය නිශ්ශංක පරාක්‍රම විජයරත්න නිළමේතුමා 1975-1985
නෙරංජන් ප්‍රියදර්ශන දුල්ලැව නිළමේතුමා 1985-2005
ප්‍රදීප් නිලංග දෑල නිළමේතුමා 2005 සිට

 

-------------------------------------------------------------- සිව් මහා දේවාල

            දළඳා මාළිගාවට තවත් ප්‍රධාන අංගයක් ලෙස දතර මහා දේවාල හැදින්විය හැක. මේවා ශ්‍රි විෂ්ණු , ශ්‍රි කතරගම, ශ්‍රි පත්තිනි,යන දේවාල හතර මහා දේවාල නමින් හැඳින්වේ. ඉන් කතරගම දේවාලය හැර ඉතිරි ඒවා දළඳා මළුව අවට ඉඳිකෝට ඇත. ශ්‍රි දළඳා මාළිගාවේ සතර මංගල්‍යයේදි මෙම සිව් මහා දේවාල වැදගත් වේ.විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්‍රි රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රි දළඳා මාළිගාව පෙරටුකොටගෙන මෙම දේවාල හතර පිළිවෙලින් පෙරහැරේ යයි.

නාථ දේවාල

දළඳා පුද බිමේ ඇති පැරණිතම ස්මාරකය වන්නේ නාථ දේවාලයයි.ද්‍රවිඩ ලක්ෂණ පෙන්නුම් කරන මෙය තුන්වන වික්‍රමබාහු රජු විසින් කරවා ඇත.ඇසල පෙරහැරේ දළඳා පෙරහැරට පසුපසින්ම ගමන් කරන පෙරහැර වේ.නාථ දේවාල කැපවි ඇත්තේමතු බුදුවන නාථ දේවියන් වෙනුවෙනි.

  

ශ්‍රි විෂ්ණු දේවාල

පෙරහැරේ දෙවනුවට ගමන් කරනුයේ මෙම දේවාලයේ පෙරහැරයි.විෂ්ණු දෙවියන් වෙනුවෙන් මෙම දේවාලය කරවි ඇත.රජවරු අභිෂේකයෙන් පසු නලල් පටය බඳිනු ලැබීමේ චාරිත්‍රය ඉටුකරනු ලැබුවේ මෙම දේවාලයේය.

       

ශ්‍රි කතරගම දේවාල

14 වන සියවසේදී පමණ ඇරම්භවු බව සැලකේ.මෙම දේවාලය කතරගම දෙවියන්ට ප්‍රසිද්ධව ඇත.

ශ්‍රි පත්තිනි දේවාල

දළඳා මාළිගාව අවට ඇති පැරණි ගොඩනැගිලි අතරින් එකකි.පති භක්තිය රැකි උතුම් කාන්තාවක් ලෙස සලකන ඇය සත්වාරයක් උපත ලද බව.ජලයෙන්,මලෙන්,නයි කඳුලෙන් ,කඳුරු පොත්තෙන් ,පිනිබිනදුවෙන්,අඹෙන්,ඉපදි බව සැලකේ.ඇසළ පෙරහැරේ අවසානයට ගමන් කරන පෙරහැරයි. අතීතයේ පටන් දළඳා කරඬුව ගෙනයාමට ඇත් රාජයෙක් විය.එම තත්වය සුවිශේෂි ඇතෙකුට හිමිවේ.මේ දක්වා කාලය තුල ඇතුන් 14ක් පමණ දළඳා කරඬුව රැගෙන යාමට සමත්ව ඇත.
-----------------------------------------------------------------------------------

දළදා මාලාගවේ සතර මංගල්‍යයන්

                      සෙංකඩගල දළදා මැදුරේ අතීතයේ සිට පැවතෙන මංගල්‍යයන් 4ක් ඇත.
1. අලුත් සහල් මංගල්ලය
2. අලුත් අවුරුදු මංගල්ලය
3. ඇසල මංගල්ලය
4. කාර්තික මංගල්ලය

--------------------------------------------------------------

දළඳා මාළිගාවේ ඇත් පන්තිය

         

  1. සිංහ රාජා
  2. ඒකදන්තයා
  3. ඉන්දි රාජා
  4. සුමන
  5. විජය රාජා
  6. ජය රාජා
  7. කදිරා
  8. නාලක
  9. මියන් රාජා
  10. බුරුම රාජා
  11. මිගාර
  12. කාවේරි
  13. නවම් රාජා
  14. කණ්ඩුල

--------------------------------------------------------------

කෞතුකාගාරය

      

දළඳා මාළිගයේ තුන් මහල් කෞතුකාගාරයක් දක්නට ලැබේ.එහි පහත කෞතුක වස්තු තැම්පත් කර ඇත.
Kandy-llibresagrat2.jpg
Rightt
  1. සමාදි පිළිමය
  2. පැරණි ධාතු කරඬුව
  3. සිරි පතුල
  4. රිදි කලය
  5. කැටයම් කරනලද ඇත්දත් දෙක
  6. මාළිගා සංකීර්ණයේ බිම් සැකස්ම
  7. කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ ඇඳුම් කට්ටලය
  8. ලේන්සු
  9. හේමකඳ
මෙම නගරයේ ශ්‍රී ධාතු මන්දිරය,මල්වතු අස්ගිරි උභය මහා විහාරය විෂ්ණු , කතරගම, පත්තිනි.නාථ යන දේවාල හා කිරි සයුර නම් මහනුවර වැව හේතුවෙන් ලෝක උරැම නගරයක් බයට පත්ව ඇත.

 

ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්ත


ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාරයන් සියල්ලකම පාහේ මෙන්ම ලංකාවෙහිද ජනාවාස ආරම්භයත් සමග ජලය යන්න වැදගත් අවශ්‍යතාවක් වූයෙන්, ජලාශ්‍රිතව එම ශිෂ්ටාචාර බිහි විය. විශේෂයෙන් ලංකාවේ සිදුවූ මුල්ම ආර්යය සංක්‍රමණය වන විජයගේ සංක්‍රමණයේ සිට සෑම සංක්‍රමණිකයෙක්ම තම ජනාවාස බිහිකරගත්තේ ගංඟා නිම්න ආශ්‍රිතවය. එනම් ආර්යයන් විසින් ඇරඹි ඉපැරණි ආර්යය ජනපද වන අනුරාධ ග්‍රාම, උපතිස්ස ග්‍රාම, විජිත ග්‍රාම, ඌරුවෙල ජනපදය, දීඝායු, කතරගම, සදුන්ගම, මාගම, රාමගොණ්ණ, කල්‍යාණි වැනි ජනපද මල්වතු ඔය, කලා ඔය, දැදුරු ඔය, මහවැලි ගඟ, ගල් ඔය, කුඹුක්කන් ඔය, මැණික් ගඟ, කිරිඳි ඔය,වලවේ ගඟ, කැළණි ගඟ යන ගංගා මිටියාවත් ආශ්‍රිතව පිහිටා තිබේ.
වියළි කලාපයේ ගංඟා මිටියාවත් ආශ්‍රිතව ජනපද පිහිටවූ ආර්යයන්ට ජනගහනයේ වර්ධනයත් සමඟ ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට සිදුවීම නිසා ඔවුන් වියළි කලාපයෙන් රට තුළට සංක්‍රමණය වූහ. එසේ වියළි කලාපයෙන් රට තුළට සංක්‍රමණය වීමේදී එම ප්‍රදේශයේ පැවති තැනිතලාවන්හී භූගෝලීය ලක්ෂණය ආර්යයන්ගේ ප්‍රධාන බෝගය වූ වී ගොවිතැනට වඩාත් යෝග්‍ය විය. එහෙත් වියළි කලාපීය ප්‍රදේශයට වර්ෂාව ලැබුනේ වසරකට එක් කාලයකදී පමණි. ඒ අතර එය අඟල් 50-75ත් අතර ප්‍රමාණයේ වර්ෂාවක් විය.වියළි කලාපයට නොයෙක් කාලවල සාගත, නියඟ ආදියට මුහුණ දීමටද සිදු විය.වියළි කලාපයට වර්ෂාව ලැබුනේ වසරකට එක් කාලයකදී වූවත් කෘෂි කාර්මික කටයුතු වලට වසර පුරා ජලය අවශ්‍ය වූයෙන් එම වසරකට වරක් අතිරික්තව ලැබුණු ජලය සුරක්ෂිතව ගබඩා කරගෙන පරිහරණය කිරීමට සිදුවිය.එම අරමුණෙන් යුක්තව වැව් ඉදි කිරීම ඇරඹි බව පැහැදිලිය.
-----------------------------------------------------------------------------------

වාරි නිර්මාණයන්හි වැදගත්කම

                   වර්ෂය පුරාවට ලැබුනු අතිරික්ත ජලය සුරක්ෂිතව තබාගැනීමේ මූලික පරමාර්ථයෙන් වාරි කර්මාන්ත කෙරහි ශ්‍රී ලාංකිකයන් නැඹුරැ වූ බැව් අප මූලිකව අවබෝධකර ගත්තෙමු.එහිදී ජලපහරක් ස්වාභාවිකව පිහිටි උස් භූමි දෙකකට කොටු කරමින් එක් පසකින් පමණක් ලී දඬු,කොල අතු වැනි දෑ හරස් කොට පූර්ව යුගයේ වාරි නිර්මාණ සිදු කළද,ඒවායේ වූ තාවකාලික බව හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් එම නිර්මාණයන් වෙත දේශීය ඉංජිනේරැ දැනුම භාවිත කරමින් වඩා සංකීර්ණ වූ නිර්මාණ බවට ඒවා පරිවර්තනය කළේය.මෙලෙස ක්‍රමයෙන් ලාංකීය වාරි නිර්මාණ ලොව අන් කිසිඳු රටක දක්නට නොවන ආකාරයෙන් සුවිසල් හා විශ්මිත වූ නිර්මාණයන්ගේ තත්වයට වර්ධනය විය. විශේෂයෙන්ම තාක්ෂණයෙන් උසස් යැයි කියා ගන්නා වත්මන් ඉංජිනේරැ තාක්ෂණයන්ට පවා හසු නොවන්නා වූ ක්‍රමවේදයක් අපගේ අතීත වාරි නිර්මාණ ශිල්පීන් සතු වූ බැව් ඇතැම් වාරි නිර්මාණ අපට පසක් කරයි.උදාහරණ ලෙස, මින්නේරිය වැව,කලා වැව,පරාක්‍රම සමුද්‍රය ආදී වැව් යෝධ ඇළ ආදී වූ නිර්මාණ පෙන්වා දිය හැක.

ශ්‍රී ලංකාවේ අතීත වාරි නිර්මාණයන්හි වූ විශිෂ්ඨත්වය විදේශිකයන් පවා ඉහළින් අගය කොට ඇත.ඒ බැව් පහත ප්‍රකාශයෙන් පවා පැහැදිලි වේ. "යුරෝපයේ නිසි ශීලාචාරකමක් ඇතිවන්නට ශතවර්ෂ ගණනාවකට පෙර උපන් ආර්යය වර්ගයා විසින් නිපදවන ලද දේවල් බලා පුදුමයට පත් වන්නට යුරෝපීයන්ට සිදු වී තිබේ.ලක්දිව ගොවිතැනට ජලය සැපයීම කර තිබෙන වැව් කර්මාන්තය ගැන පරීක්ෂා කර බැලීමේදී පුරාණ වැව් බැදීමේ තාක්ෂණය විස්මය ජනක බැව් කිව යුතුය.සිංහල ඉංජිනේරැවන්ගේ වැඩ අප විසින් කරනු ලබන පැනමා ඇළ බැදීමේ වැඩට සංසන්දනය කර බැලීමේදී එම වැඩ පෙර සිංහල ඉංජිනේරැවන්ට ළමයකුගේ ක්‍රීඩාවක් මෙන් වැටහෙනවා ඇත."
 ----------------------------------------------------------------------------------

වාරි නිර්මාණ සඳහා වූ රාඡ්‍ය දායකත්වය

                               මුල් යුගයේ ඉදි වූ වාරි කර්මාන්ත ඉතා සරල වාරි කර්මාන්ත වන අතර කඳු පන්තීන් දෙකකින් වට වූ භූමි ප්‍රදේශයක් සරලව ආවරණය කරමින් වැවක් ඉදි කලේය.ඒමෙන්ම ඍජුවම වැවේ සිට කුඹුරට ජලය ලබා ගැනීම වැනි සරල වාරි කර්මාන්ත මුල් යුගයේ පැවතුණි.එසේම ඇළ පහරක් හරහා තාවකාලිකව අමුණක් බැඳ ගොවි බිම් වලට ජලය ලබා ගැනීම පැවති සම්ප්‍රදාය බැව් දීඝ නිකාය ටීකාවේ සදහන් වේ. මෙම මුල් යුගයේ ඉදි වූ සරල වාරි කර්මාන්ත බොහෝ විට පුද්ගලික මෙහයවීමෙන් නිර්මාණය වූ අතර ක්‍රිස්තු පූර්ව යුගයේ ඉදි වූ මේවා ගම් වැව් ලෙස හැදින්වේ.ක්‍රිස්තු පූර්ව යුගයේ ලියවී ඇති ශිලා ලේඛන වලින් පුද්ගලික වැව් හිමියන් සිටි බව වව් හමික,වපි හමික,ගමික යන තනතුරැ නාමයන්ගෙන් පැහැදිලි වේ.වංශ කතාගත තොරතුරැ වලට අනුව ලංකාවේ ඉදිකරනු ලැබූ පැරණිම ගම් වැව වශයෙන් සදහන් වන්නේ විජය හා පැමිණි අනුරාධ අමාත්‍යවරයා විසින් අනුරාධ ග්‍රාමයේ ඉදිකළ වැවයි.

වංශකතාගත තොරතුරැවලට අනුව ප්‍රථම වරට රාජ්‍ය අනුග්‍රහය තුළින් වැවක් ඉදි කිරීම පිළිබදව සදහන් වනුයේ අනුරාධ අමාත්‍යයා ඇරඹි අනුරාධ ග්‍රාමය අංග සම්පූර්ණ පුරයක් බවට පත් කළ පණ්ඩුකාභය රජු නගරය ආශ්‍රිතව ඉදි කළ අභය හෙවත් බසවක්කුලම වැවයි.එය මෙතෙක් ලක්දිව හමු වී අති පැරණිතම වාරි කර්මාන්තයයි.එතැන් පටන් ලක්දිව රජවරැ විවිධ ප්‍රමාණයන්ගෙන් වාරි කර්මාන්ත සදහා දායකත්වය සැපයූ අතර ඉතා විශාල වශයෙන් වාරි කර්මාන්ත සංවර්ධනය වූ අවධි ආර්ථික අතින්ද සමෘද්ධිමත් යුගයන් විය. විශේෂයෙන් කෘෂිකර්මාන්තය සදහා ජලය අත්‍යාවශ්‍යම සාධකයක් වූ අතර එය විශාල වශයෙන් ලැබීම තුළ කෘෂිකාර්මික සංවර්ධනයක් ඇති වී ආර්ථික සමෘද්ධිය ලඟා විය.එමෙන්ම රජතුමා ජනතාව අතර ආදර ගෞරවයට හා ජනප්‍රියත්වයට පත් වීම සඳහා ද මෙම වාරි නිර්මාණ ඉවහල් විය.ඇතම් රජවරැ වාරි නිර්මාණ නිසා ජනතාව විසින් දේවත්වයෙහිලා සලකා තිබේ.උදාහරණයක් ලෙස ක්‍රි.ව.274-301 අතර රජ කළ මහසෙන් රජු "මින්නේරිය දෙවියෝ හෙවත් හත් රජ්ජුරැ බණ්ඩාර" ලෙස ජනතාව අතර වන්දනයට පාත්‍රව ඇත.වාරි නිර්මාණ ඉදි කිරීම තුළින් රජු ,ජනතාව ඒවායින් ලබා ගත් ජලය වෙනුවෙන් බදු අය කළ අතර ,එය රජුගෙ අාදායම් ඉහළ යාමටද හේතු විය.
මූලිකවම ලංකාවේ අනුරාධපුර යුගය හා පොළොන්නරැ යුගයන්හිදී වාරි කර්මාන්තය වේගයෙන් සංවර්ධනය වූ අතර රාජ්‍ය මැදිහත් වීමද ඒ සදහා නොමදව හිමි විය.එකී අවධීන් පහත පරිදි පෙළගැස්විය හැක.
  • වසභ රඡතුමා (ක්‍රි.ව.67-111)
මධ්‍යම ප්‍රමාණයේ වැව් තැනීමේ ආරම්භක පාලකයාය. වාරි නිර්මාණ සදහා මුල් වරට විශාල වශයෙන් රාජ්‍ය අනුග්‍රහය හිමි වේ. වැව් 11ක් හා ඇළ මාර්‍ග 12ක් නිර්මාණය කළේය. භූමිය මැනීම හා සමෝච්ඡ රේඛාකරණය දියුණු තත්වයක පැවත ඇත.


  • මහසෙන් රඡතුමා (ක්‍රි.ව.274-301)
විශාලම ප්‍රමාණයේ වැව් තැනීමේ ආරම්භක පාලකයාය. වැව් 16ක් හා ඇළ මාර්‍ගයක් නිර්මාණය කළේය. වාරි කර්මාන්තයට කළ ව්ශිෂ්ඨ සේවය නිසාම ජනතාව අතර දේවත්වයට පත්ව තිබේ.


  • ධාතුසේන රඡතුමා (ක්‍රි.ව.465-473)
අනුරාධපුර යුගයේ වාරි කර්මාන්ත ඉතිහාසයෙහි සංවර්ධිතම අවධියයි. මහ වැව් 18ක් හා ඇළ මාර්‍ග කිහිපයක් නිර්මාණය කළේය.


  • පළවන පරාක්‍රමබාහු රඡතුමා (ක්‍රි.ව.1153-1186)


පළවන පරාක්‍රමබාහු රජතුමා

පොළොන්නරැ යුගයේ රාජ්‍ය පාලනය කලේය. ලංකාවේ වාරි කර්මාන්ත ඉතිහාසයෙහි සංවර්ධිතම අවධියයි. "අහසින් වැටෙන ජලය මදකුදු ලෝකෝපකාරයෙන් තොරව කිසි කලෙකත් මුහුදට නෙයේවා" යන ආදර්ශයෙන් ක්‍රියා කර ඇත. අමුණු 165,මහ වැව්163,ඇළ මාර්‍ග3910,කුඩා වැව්2376 ක් හා සොරොව්340 ක් නිර්මාණය කළේය.

මේ අාකාරයට මූලිකවම අතීත රාජ්‍ය මැදිහත්වීම ඔස්සේ සංවර්ධනයට පත් ලක්දිව වාරි කර්මාන්තය තුළ ඉදි වූ නිර්මාණයන් මූලිකවම කොටස් කිහිපයකට වර්ග කළ හැක.

  • වැව්
  • ඇළ මාර්ග
  • පොකුණු
මෙකී වාරි නිර්මාණයන් ඉදි කිරීමෙන් පමණක් නොනැවතුණු රජවරැ ඒවායේ නඩත්තුව සඳහා වෙනමම නිලධාරීන් පත් කළ අතර වැව් ජලයට ලබා ගත් බදු මුදල් වලින් ඒවා නඩත්තුවට අවශ්‍ය මුදල් ප්‍රමාණයන්ද වෙන්කරන ලදී.වැව් නඩත්තුවට හා ඒවා භාරව පත් කළ නිලධාරීන් අතර , අණාණික තිශ-වාරි කර්මාන්තය හා සම්බන්ධ ඉංජිනේරැවන්(දඔල්ලෙන් ලැබුණු සෙල් ලිපියක්) අඩිතය උතර-ඇළ මාර්ග භාරව කටයුතු කළ නිලධාරී(කෑගල්ල දිස්ත්‍රික්කයේ මාපිට විහාරයේ ලෙන් ලිපියක්) වැවෑ ජෑරැම්-වැව් කර්මාන්තය හා සම්බන්ධ විධායක නිලධාරී(මිහින්තලයෙන් ලැබුණු දෙවන සේන රාජ්‍ය කාලයට අයත් ලිපියක්) යන නිලධාරීන් සිටි බව සදහන් වේ.එසේම වැවෙන් ලබාගත් ජලය සඳහා උදක භාග හෙවත් දකබක, දකපති, මතර මජිබකපති යන බදු වර්ග අය කරගත් බැව් සෙල් ලිපි සාක්ෂි දරයි.මෙය මුදලින් නැතිනම් අස්වැන්නෙන් කොටසක් ලෙස අය කරගත් බැව් සදහන් වේ.
-----------------------------------------------------------------------------------

වැව්

ස්වාභාවිකව පිහිටි ජල මාර්ගයකට බාධකයක් දමමින් මූලිකවම වැව් ඉදි කිරීම ඇරඹි අතර ,පසු කාලීනව එය දියුණු හා සංකීර්ණ වූ තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ විශාල වශයෙන් වර්ධනය විය.මූලිකවම වියළි කලාපයේ කෘෂිකර්මාන්තයට බාධකයක් වූ ජලය එක් රැස්කර තබා ගැනීමේ ක්‍රමවේදයක් වශයෙන් බිහි වූ වැව් පසු කාලීනව ඉතා විශාල ජල ධාරිතාවක් රදවා තබාගත හැකි නිර්මාණයක් දක්වා වර්ධනය විය.ඒ අනුව ස්වාභාවිකව පිහිටි උස් භූමි දෙකකට ජලය මැදිවන ලෙස එක් පසෙකින් බැම්මක් ඉදිකිරීමෙන් ඇරඹි වැව සදහා නවීන අංගයන් එක් වන්නට විය. ඒ අනුව වැව් බැම්ම,සොරොව්වට අමතරව බිසෝකොටුව,සළපනාව,පිටවාන ආදී වූ නවීන අංගයන් වැවට එක් විය.

--------------------------------------------------------------

වැවක කොටස් හා එහි කාර්යය

 

අංගය කාර්යය
*වැව් බැම්ම වැවේ ජලය රඳවා තබා ගනී
*සොරොව්ව ජලය අවශ්‍ය ප්‍රමාණයට මුදා හරී
*සළපනාව රළ පහරින් වැව් බැම්මට විය හැකි හානි වළක්වයි
*පිටවාන අතිරික්තව ලැබුණු ජලය මුදා හරී
*බිසෝ කොටුව     සොරොව්ව වෙත එන අධික පීඩනය අවම කරයි

පණ්ඩුකාභය රජුගෙන් ඇරඹි ලක්දිව වාරි කර්මාන්ත ඉතිහාසය එතැන් පටන් විවිධ රාජ්‍ය අනුග්‍රහයන් යටතේ සංවර්ධනය විය.එය සැකෙවින් මෙසේ පෙළගැස්විය හැක.
  • පණ්ඩුකාභය රජු -බසවක්කුලම වැව
  • දේවානම්පියතිස්ස රජු -තිසා වැව
  • මහානාග රජු -තිස්ස වැව, වළස් වැව
  • දුටුගැමුණු රජු -සොරබොර වැව
  • සද්දාතිස්ස රජු -පදවිය වැව ඇතුළු වැව් 18ක්
  • ආමණ්දගාමිණී අභය රජු -මහා ගාමෙන්දි වැව
  • ඉලනාග රඡු -තිස්ස වැව, දූරතිස් වැව
  • සදමුහුණුතිස්ස රඡු -මනිකාලගාම වැව
  • වසභ රජු -නොච්චිපොතාන වැව, හිරිවඩුන්න,කාලියවධන, මාන්නන්කැටිය,මහවිලච්චිය, කලා බළලු වැව ඇතුළු වැව් 11ක්
  • මහෙසන් රජු -මින්නේරිය වැව, කවුඩුළු, හුරෑළු, මහගල් කඩවල, මහකණදරා, මාමිණියා වැව ඇතුළු වැව් 16ක් ඉදි කර ඇත.විශාලතම වාරි කර්මාන්තය වන්නෙ අක්කර 4670ක භූමියක් වැසී යන පරිදි සැතපුම් 1.25ක් දිග වැව් බැම්මකින් යුත් මින්නේරිය වැවයි.
  • පළමුවන උපතිස්ස රජු -‍තෝපා වැව, දුඹුතුළු වැව ඇතුළු වැව් 06ක්
  • ධාතුසේන රජු -කලා වැව, මානවත්තු හෙවත් යෝධ වැව ඇතුළු වැව් 18ක් ඉදි කර ඇත.විශිෂ්ඨතම නිර්මාණය වන්නේ අක්කර 6380ක භූමියක් වසා ගත් සැතපුම් 3.75ක් දිග වැව් බැම්මකින් යුත් කලා වැවයි.
යෝධ වැවේ ඇති විශිෂ්ඨත්වය වනුයේ සැතපුම් 7ක් දිග අඩි 14ක් උස වැව් බැම්ම සම්බන්ධ කිරීමට ස්වාභාවික කඳු පන්තීන් දෙකක් නොමැති වුවත් වැව් බැම්ම අර්ධ කවාකාර බැමි දෙකක් ලෙස නිමවා වැවක් ඉදි කිරීමට ලාංකීය වාරිකාර්මික ශිල්පීන් සමත්ව ඇති බැවිනි.
  • දෙවන මුගලන් රජු -පත්පහණ වැව, පදවිය වැව ඇතුළු වැව් 03ක්
  • පළමුවන අග්බෝ රජු -මාදුරෑ වැව, කුරැන්දවාපිය වැව, මිහින්තලේ වැව
  • දෙවන අග්බෝ රජු -කන්තලේ වැව, ගිරිතලා වැව, බලාහස්ස වැව ඉදි කර ඇත.මේ අතරින් කන්තලේ වැව ලංකාවේ ගැඹුරැතම වාරි කර්මාන්තය ලෙස සැලකේ.එහි වැව් බැම්මේ ඇතැම් ස්ථානයක උස අඩි 52.5ක් පමණ වේ.
  • පළමුවන විඡයබාහු රජු -බුදුගුණවාපිය වැව
  • පළමුවන පරාක්‍රමබාහු රජු - පරාක්‍රම සමුද්‍රය, තෝපා, දුඹුතුළු, එරබදු, පරාක්‍රම තටාක, මහින්ද තටාක, පරාක්‍රම සාගර, ඒකහවාපී වැව ඇතුළු මහ වැව් 163ක් හා කුඩා වැව් 2376ක් ඉදි කර ඇත.මොහුගේ විශිෂ්ඨතම නිර්මාණය වන්නෙ පරාක්‍රම සමුද්‍රයයි.අක්කර 5350ක භූමි ප්‍රදේශයක් යටවන පරිදි නිර්මිත එහි බැමමේ දිග සැතපුම් 8.5ක් පමණ බවත් උස අඩි 40ක් පමණ වන බවත් සදහන්ය.
පුරාවිද්‍යා සාක්ෂි මත තහවුරැ කරගන්නා ලද වාරි නිර්මාණයන් මෙපමණ වූවත්, ඊට වඩා විශාල ප්‍රමාණයක් වැව් ලක්දිව ඉදිවන්නට ඇත.නමුත් ඒවා පිළිබදව සඳහන් නොවන්නට ඇත්තේ ඇතැම් විට ඒවා රාජ්‍ය අනුග්‍රහය මත ඉදි නොවීම හෝ ඉදි කළ නිර්මාණයන්ගේ පුරාවිද්‍යාත්මක සාධක විනාශ වී යාම නිසාවෙනි.ලංකාවේ අතීත රාජධානි මාරැවීමේදී විශේෂයෙන් පොළොන්නරැ යුගයෙන් පසු රාජධානි ඉතා සීමිත වූ කාලයක් පැවතීම නිසා පසු යුගයන් තුළ එතරම් විශාල වාරි නිර්මාණයන් සිදු නොවුණි.
----------------------------------------------------------------------------------

ඇළ මාර්ග හා අමුණු

ස්වභාවිකව පිහිටි ඇළ මාර්ග හා ගංගා හරස් කරමින් වැව් තැනීම ආරම්භ කළද, ජනතාවගේ අවශ්‍යතාවය මත කෘතිමව ඉදිකළ ඇළ මාර්ගයන්ද අපගේ අතීත වාරි කර්මාන්තය තුළ දැකගත හැක. මූලිකවම වැවකට ජලය ගෙන ඒමට හෝ එකී වැවක පවතින අතිරික්ත ජලය තවත් වැවකට ගෙන යාමේ අරමුණු ඇතිව ඇළ මාර්ග ඉදි විය. එසේ ඉදි වූ ඇළ මාර්ගයන්ටද අතීත වාරි කාර්මික දැනුම එක සේ අදාල කර ගත් අතර, වත්මන් නිර්මාණයන් හා සසදද්දී ඒවා ඉතා උසස් මට්ටමක විය. ඇතැම් නිර්මාණ ගංගාවන් තරමටම විශාල වූයෙන් ඒවා ගංගා වශයෙන් ම පොදු භාවිතය තුළ හැඳින්විණි. ජය ගඟ වැනි ඇළ මාර්ග ඒවාට උදාහරණයන්ය.
වැවි ඉදිකිරීම තරම්ම අතීතයක නොවුණද ඇළ මාර්ග ඉදි කිරීමද අපගේ අතීත රජවරුන් සතුව ජනප්‍රියව පැවති බවට සාක්ෂි පවතී. මේ පිළිබඳව ප්‍රථම වරට පැහැදිලි සාක්ෂි මතු වන්නේ ක්‍රි. ව. 67 - 111 අතර කාලයේ රාජ්‍ය කළ වසභ රජුගේ කාලයෙනි. ඔහු විසින් මහවැලි ‍ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන අඹන් ගඟ හරස් කරමින් සැතපුම් 30 ක් දුරට විහිදෙන පරිදි ඇලිසාර හෙවත් ඇළහාර ඇළ ඉදිකළ බැ‍ව් දැක්වේ. මේ නිර්මාණයට අමතරව ඔහුගේ රාජ්‍ය කාලයේ ඇළ මාර්ග 11 ක් ඉදි වූ බැව් දැක්වේ. මේ අනුව අනුරාධපුර යුගයේ වාරි කර්මාන්ත ඉතිහාසයේ ප්‍රධාන සංධිස්ථානයක් වන වසභ රාජ්‍ය කාලය වන විට ඇල මාර්ග තැනීමෙහි වටිනාකම හා ඒ පිළිබඳව වූ කිසියම් අවබෝධයක් අපගේ අතීත වාරි ඉංජිනේරුවන් සතු වූ බැව් පැහැදිලිය. මීට අමතරව මේ කාලයේදීම පොකුණු නිමවා ඊට පොළව යටින් ජලය ගෙන යාමේ උමං ජල මං ක්‍රමයක් පැවති බවටද සාක්ෂි වේ. එය වංශ කතාවෙහි "ජල මාතිකා ” යනුවෙන් දක්වා තිබේ. මේ අනුව අපගේ ඇළ මාර්ග ඉදිකිරීමේ තාක්ෂණය එවකටද ඉතා දියුණු මට්ටමක පැවති බවට පසක් වේ.
අමුණු ඉදි කිරීම බොහෝ විට වැව් තැනීම සඳහා යොදා ගත් අතර විශේෂයෙන් වැවකට ජලය ලබා ගැනීමේදී ගංගාවක් හරස් කිරීම සඳහා අමුණු ඉදි කළේය. ඇතැම් අවස්ථා වල අමුණක් ඉදි කරමින් ස්වභාවික ගංගාවක දිශාව වෙනස් කරමින් වෙනත් ප්‍රදේශයකට ජලය ලබා ගත් අවස්ථාද ඇත. අපගේ අවධානය මීලඟට යොමු වන්නේ අපගේ අතීත ඇළ මාර්ග හා අමුණු නිර්මාණයන් පිළිබඳව විමසා බැලීමටයි.
  • මහසෙන් රජු ( ක්‍රි. ව. 274 - 301 ) - අනුරාධපුර යුගයේ විශාලම ප්‍රමාණයේ වැවි ඉදි කිරීමේ ආරම්භකයා හැටියට සැලකෙන මහසෙන් රජගේ කාලයේදී ඉදිවූ කවුඩුළු වැව සඳහා පබ්බත ඇළ නම් වූ ඇළ මාර්ගයක් ඔස්සේ ජලය ලබාගත් බව දැක්වේ. මීට අමතරව තලවතු ඇළ නම් වූ විශාල ඇළ මාර්ගයක් මොහුගේ රාජ්‍ය අනුග්‍රහය මත ඉදි වූ බවත්, වසභ ඉදිකළ ඇළහැර ඇළ මින්නේරිය දක්වා දීර්ඝ කිරීමක් සිදු විය.


  • ධාතුසේන රජු ( ක්‍රි. ව. 455 - 473 ) - අනුරාධපුර යුගයේ වාරිකර්මාන්තයේ ස්වර්ණමය යුගය වශයෙන් සටහන්වන ධාතුසේන රාජ්‍ය කාලය තුළ ඉදි වූ ජය ගඟ හෙවත් යෝධ ඇළ අතීත වාරි ඉංජිනේරුවාගේ හැකියාව ලොවට ප්‍රදර්ශණය කළ මහඟු නිර්මාණයකි. එනම් සැතපුම් 54 ක් දිග යෝධ ඇළේ පළමු සැතපුම් 16 තුළ ඇත්තේ සැතපුමකට අඟල් 6 ක් තරම් වූ ඉතා කුඩා බෑවුමකි. මේ නිසා ඉතා විශාල ප්‍රදේශයක් ජලයෙන් පෝෂණය කිරීමේ හැකියාව යෝධ ඇළට හිමි වී ඇත. විශේෂයෙන්ම මෙය ඉදිකිරීමට හේතු වූ අනුරාධපුර නගරයේ ජනගහනය වැඩි වීමේ ගැටළුවට එමගින් විසඳුම් සපයා ගන්නට අපගේ අතීත වාරි ඉංජිනේරුවන්ට හැකිවන්නට ඇත.

                              

ක්‍රි. ව. 5-6 ශතවර්ෂය වන විට ඇළවල් මඟින් වැ‍ව් එකිනෙකට සම්බන්ධ කිරීම නිසා මල්වතු ඔයේ ජලය මහවැලි ගංගාව දක්වා ගෙන යන පරිදි සංකීර්ණ ජල ප්‍රවාහයක් බවට සංවර්ධනය වී තිබූ බවට ඓතිහාසික සාක්ෂි පවතී. විශේෂයෙන් මෙකල ඉදි වූ මිනිපේ අමුණ, හත්තොට අමුණ ආදී වූ නිර්මාණ මහවැලි ගඟ ආශ්‍රිතව ඉදි වී තිබේ.
  • 1 වන පරාක්‍රමබාහු රජතුමා ( ක්‍රි. ව. 1153-1186 ) - ශ්‍රී ලංකාවේ වාරි කාර්මික ඉතිහාසයෙහි ස්වර්ණමය යුගය හා අවසන් වැදගත් යුගය වශයෙන් දැක්වෙන පරාක්‍රමබාහු රාජ්‍ය කාලය තුළ ඇළවල් 3910 ක් හා අමුණු 165 ක් ඉදි වූ බවට සාක්ෂි පවතී. එය ලංකාවේ පමණක් නොව ලෝකයේ අන් කිසිඳු පාලකයෙකුට නොදෙවෙනි තරම් වූ වාරි කාර්මික සංවර්ධනයක් බැවි ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇත. විශේෂයෙන් ඔහු ඉදිකළ පරාක්‍රම සමුද්‍රය වැනි සුවිශාල වාරි නිර්මාණයන් සඳහා ජලය ලබා ගැනීම සඳහා මහවැලි ගඟ හරස් කොට අංගමැඩිල්ල නම් ස්ථානයේ අමුණක් ඉදි කරමින් අංගමැඩිල්ල ඇළ ඔස්සේද, ගිරිතලේ වැවේ සිට ඇරඹෙන ඇළ මාර්ගයක් ඔස්සේද ජලය සපයා ගත් බැවි දැක්වේ.
මෙසේ විවිධ රාජ්‍ය අනුග්‍රහයන් යටතේ ලංකාවේ ඇළ මාර්ග හා අමුණු සංවර්ධනය සිදු වූ අතර වාරිකර්මාන්තයේ ස්වර්ණමය අවධිය වූ පරාක්‍රමබාහු රජුගේ කාලය වන විට ඇළ මාර්ගයන් ඔස්සේ සියළු වැව් හා ගංගා මකුළු දැලක ආකාරයෙන් එකිනෙකට සම්බන්ධ වූ ඉතා සංකීර්ණ ජල ප්‍රවාහන ක්‍රමයක් දක්වා වර්ධනය වී තිබූ බැවි පැහැදිලිය.
 ----------------------------------------------------------------------------------


පොකුණු

ශ්‍රී ලංකාවේ වාරිකර්මාන්ත නිර්මාණයන් අතර කලාත්මක ගුණයෙන් ඉතා ඉහළ නිර්මාණයක් වශයෙන් පොකුණු පෙන්වා දිය හැක. විශේෂයෙන් රාජ මාළිගා, පූජ්‍ය ස්ථාන ආදියෙහි පොකුණු නිර්මාණය වී ඇති අතර, රාජ අමාත්‍යාදීන්ගේ මෙන්ම බිසෝවරුන්ගේ පරිභෝජනයටද, සංඝයා වහන්සේලාගේ පරිභෝජනය සඳහා ද මෙම පොකුණු නිර්මාණය කර ඇත. මේ නිසා පොකුණු නිර්මාණයේදී කලාත්මක ලක්ෂණ ඊට ආරෝපණය කර ගන්නට ඇත. අනුරාධපුර යුගයේ මෙන්ම, පොළොන්නරු යුගයේ දැක ගත හැකි රාජ මාළිගා, පිරිවෙන් ආදී වූ සෑම ස්ථානයකම පාහේ පොකුණු නිර්මාණ දැකගත හැක. උදාහරණයක් ලෙස අභයගිරිය, ජේතවනාරාමය ආදියේද, පොළොන්නරුව ආලාහන පිරිවෙන් භූමියේද විශාල පොකුණු ප්‍රමාණයක් දැකගත හැක. කුට්ටම් පොකුණ, ඇත් පොකුණ, පොළොන්නරුවේ නෙළුම් පොකුණ ආදී වූ නිර්මාණ පොකුණු අතර උසස් ගණයේ නිර්මාණ කිහිපයකි.

--------------------------------------------------------------

සීගිරිය ජලෝද්‍යානය

ක්‍රි. ව. පස්වන සියවසේදී අනුරාධපුර යුගයේ රාජ්‍ය පාලනය කළ කාශ්‍යප රජු විසින් තම අග නගරය වශයෙන් සීගිරිය නම් වූ හුදකලා පර්වතය තෝරාගෙන එය සියළු නගරාංගයන්ගෙන් යුත් පුරවරයක් බවට සංවර්ධනය කළේය. හෙක්ටයාර 1.5 ක පමණ භූමි භාගයක් පුරා දිය අගල්, පවුරු, පොකුණු, මාළිග, මං පෙත් ආදී වූ සියළු අංගයන්ගෙන් සමන්විත ඉතා දියුණු නාගරික ලක්ෂණයන්ගෙන් යුත් පුරවරයක් වශයෙන් සීගිරිය ගොඩනගා ඇති බැවි දැනට ඉතිරිව ඇති නටඹුන් තුළින් විද්‍යාමාන වෙයි.
මෙහිදී අප විසි න් විමසා බැලෙන වාරි තාක්ෂණයට අදාලව සීගිරි රාජධානියේ ඇති වැදගත්කම නම් ඉතා සංකීර්ණ වූ ජලවහන පද්ධතියක් ඒ ආශ්‍රිතව ක්‍රියාත්මක වීමයි. විශේෂයෙන් අදටද රහසක්ව පවතින සීගිරි පර්වතය මුදුනට ජලය ගෙන යාමේ සිට, දිය අගල්, පොකුණු, දිය මල් ආදී වූ නිර්මාණ රාශියක් සීගිරිය ආශ්‍රිතව දැක ගත හැක. විශේෂයෙන් සීගිරිය ආරක්ෂිත බලකොටුවක් වශයෙන් සංවර්ධනය කළ නිසාවෙන් විශාල වශයෙන් සීගිරිය අවට දිය අගල් වලින් ආවරණය කර තිබේ. ඒ හැරුණු විට උද්‍යාන නිර්මාණයේදී වෙනමම ජලෝද්‍යානයක් සීගිරිය තුළ දැකගත හැක. මේ ප්‍රදේශය තුළ ස්වභාවිකව පිහිටි ගල් හාරා නිර්මාණය කළ පොකුණු මෙන්ම කෘතිමව නිර්මාණය කළ පොකුණුද දැකගත හැක. එය අදටද පවා යෝග්‍ය වූ උසස් නගර සැලසුම් ශිල්පයන් මත ඉදි වී ඇති බැව් නූතන ඉංජිනේරුවන්ගේ මතයයි.
මීට අමතරව සීගිරිය තුළ අදටද වර්ෂා කාලයේදී ක්‍රියාත්මක වන දිය මල් දැක ගත හැක. විශේෂයෙන් පර්වතය මුදුනේ සිට පහලට ගලා එන ජලය පීඩනයට ලක් කරමින් එම ශක්තිය තුළින් ක්‍රියාත්මක වන ආකාරයෙන් මෙම දිය මල් නිර්මාණය කර ඇත. මේ ආදී වූ සෑම නිර්මාණයක් තුළින්ම කියා පාන්නේ අතීත වාරි නිර්මාණ ශිල්පියා සතුව තිබූ හැකියාව කොතරමිද යන්න පිළිබඳවයි.

 


එදා රතු ඉන්දියාව වුයේ ශ්‍රී ලංකාවයි


දැනට වසර 7500 කට පෙර රාවණා යුගයේ ලොව ඉතාම උසස් ශිෂ්ඨාචාරයක් ගොඩනැඟු ශ්‍රී ලංකාවේ යක්ෂ ගොත්‍රිකයන් හෙලයන් විවිධ රටවල සංචාරය කරමින් සිය විද්‍යා හා තාක්ෂණ දැනුම බෙදාදෙමින් නව රට රාජ්‍යයන් සොයා ගනිමින් මුළු මහත් ලෝකයටම සේවයක් කළ බව පුරාණ ග්‍රන්ථ හා මෙතෙක් කරන ලද ශාස්ත්‍රීය පර්යේෂණ අනූව නිගමනය කළ හැකිය.
                                                    ගුවනේ නිරුපද්‍රිතව පියාසර කිරීමේ තාක්ෂණය මෙන්ම මුහුදේ සහ ගංගාවල යාත්‍රා කිරීමේ තාක්ෂණයද සොයාගත් මෙම හෙළ විරුවෝ උමං මාර්ග කැණීමේ විශේෂඥයෝ වූහ.
                                                       
මහා බ්‍රහ්මයාගේ පුත්‍රයන් වශයෙන් සැලකෙන මහ සෘෂිවරුන් හත්දෙනෙකු ලොව පාලනය කළ බව සෘග්වේදය ප්‍රමුඛ හින්දු ඉතිහාසයේ දැක්වේ.ඒ අනුව අත්‍රි,මරිචි,ඵුලභ,ක්‍රත,අගීරස,වශීෂ්මට සහ පුලස්ති එම පාලකවරු හත්දෙනා වෙති.
       මෙම මහා සෘෂී වරුන් හත්දෙනාම බ්‍රහ්මයන් වූවද එම බ්‍රහ්මයන්වරුන් ඇතුළත් ප්‍රධාන ගෝත්‍රය යක්ෂ නම් වේ.මෙම යක්ෂ ගොත්‍රිකයන්ගේ ආගම සූර්ය වන්දනාව වූ බව විවිධ මූලාශ්‍ර මගින් කියැවේ.මෙම සෘෂිවරුන්ගේ ජන්ම භූමිය වූයේ  මහා භාරතයයි.එදා ශ්‍රී ලංකාව අයත් වූයේද මේ මහාභාරතයටය.උතුරු ඉන්දියාව ,දකුණු ඉන්දියාව සහ රතු ඉන්දියාව යනුවෙන් එදා මහා භාරතය කොටස් තුනකට බෙදා තිබුණු බවත් ගණනාත් චොප්රා කියයි.ඔහ්ගේ මතය අනුව ශ්‍රී ලංකාවේ රතු මැණික් බහුලව තිබූ නිසා එය රතු ඉන්දියාව වශයෙන් හඳුන්වා ඇත.මේ අනුව ඇමෙරිකාවේද වෙසෙන ආදීවාසීන් වූ රතු ඉන්දියන්වරු අපේ පූරාණ යක්ෂ ගෝත්‍රික හෙළයන්ගෙන් පැවත එන බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන්ගේ අදහස වී ඇත.
                                                            තවද ඇමෙරිකාවේ දෙවියකු ලෙස සලකන විරෝචනද ලංකාවේ යක්ෂ ගොත්‍රික හෙළයෙකි. උතුරු ඇමෙරිකාවේ මෙන්ම දකුණු ඇමෙරිකාවේද ආදීවාසීන් (Red Indians) රතු ඉන්දියානුවන් ලංකාවේ පුරාණ යක්ෂ ගොත්‍රික හෙළයන් යැයි ඉපැරණි මූලාශ්‍ර අනූව අනාවරණය වන බව අචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර තවදුරටත් පවසයි.
                                                            ආර්ය පවුලේ මුල් පදනම ගොඩනැගී තිබෙන්නේ පුරාණ යක්ෂ,දේව,නාග සහ ගන්ධබ්බ ජනවර්ග එකමුතුවෙනි.ඒ පිළිබඳ මෙතෙක් කරන ලද පර්යේෂණවලින් පැහැදිලි වෙයි.ක්‍රි.පූ.5000 දී රාවණා රජු හෙළදිව පාලනය කළ සමයේ සුර අසුර වශයෙන් ප්‍රධාන ජනවර්ග දෙකක් පැවති නමුත් මෙම ජනවර්ග දෙකම එක මූලයකින් ඇරැඹි බවට අපමණ සාධක ඇත.සෑම මිනිසෙකුම එක සමාන බවත් ක්‍රියාවෙන් පමණක් මිනිසා වෙනස් වන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එබැවිනි.
                                                            ප්‍රථම ආර්ය පවුල සප්ත මහා සෘෂිවරුන් යැයි සිතිය හැකිය.ප්‍රථම ආර්ය පවුලෙන් කොටස් සතක් මුළු ලොව පුරා විසිර ගියේ විද්‍යා,කලා ශිල්පවලින් ලොව අර්ථවත් කිරීම පිණිස බව කිව හැකිය.
                  මෙම ප්‍රථම ආර්ය පවුලෙන් එක් පිරිසක් කැස්පියන් මුහුදේ උතුරු වෙරළ දිගේ වොල්ගා (Volga) නදිය දෙසට ගොස් දකුණු රුසියාවේ බෝල්ටික් තැන්නට ළඟා වී ඇත.එම කණ්ඩායමේ නායකයා කාශ්‍යප සෘෂිවරයාය.
           කෙල්ට් සහ ටියුමන් නමින් ක්‍රි.පූ.309 දී රෝමය අල්ලා ගන්නේද මෙම ඉන්ඳු ආර්ය පවුලේ පිරිසකි.මොවුන්ගෙන් එක් පිරිසක් ග්‍රීසියට පැමිණ ඉතාලිය හා ස්පාඤ්ඤයද සිය සංස්කෘතියට යටත් කරගෙන නැඟෙනහිරින් ඇසෑමය දක්වා විසිරී ඇත.මේ සැමටම විශේෂ කාර්යභාරයක් තිබිණ.එනම් සූර්ය වන්දනාව සහ දෙවියන් පිළිබඳ විස්වාසයයි.
                         මෙහිදී අප ප්‍රථම ආර්ය පවුල ලෙස සලකන්නේ සප්ත මහා සෘෂීන් සහ ඔවුන්ගේ දූ දරුවන් ඇතුළු ඥාතී සමූහයාය.එසේ නම් මෙම ප්‍රථම ආර්ය පවුල ජනිත වුණේ ඉන්දියානු සාගරයේ ලංකාවෙන් විය යුතුය.රතු දිවයින මෙන්ම රතියස්ගේ දූපත ලෙසද ඈත අතීතයේ ශ්‍රී ලංකාව හදුන්වා ඇත.(කන්ද උඩරට සමාජ සංවිධානය පිටුව -95)එ‍සේ නම් මෙම ප්‍රථම ආර්ය පවුල යක්ෂ ගොත්‍රික බ්‍රාහ්මණයෝය.ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන රතු ඉන්දියන් නමින් හැඳින්වෙන ජනකොට්ඨාසය පූරාණ යක්ෂ ගොත්‍රිකයන් බවට ඉතිහාසඥයෝ විස්වාසය පළ කරති.පර්සියාවේ ආදී වාසීන්ද යක්ෂ ගොත්‍රික හෙළයන් බවට විස්වාසයක් ඇත.සිංහ කොඩිය එහි පුරාණ ධජය විය.
                                                අප්‍රිකා මහද්වීපයේ උතුරු කෙළවර පිහිටි මිසරයේ ප්‍රථම රජු ලෙස ඉතිහාස ගතවී තිබෙන මේනාස් රජතුමන්ද මහාභාරතයේ මනුරජුම බව ගණනාත් චොප්රා සිය "ප්‍රත්‍යක්ෂ ශරීරම්" ග්‍රන්ථයේ සඳහන් කර ඇත.
                                 මෙම යක්ෂ ගොත්‍රික හෙළයන්ගෙන් තවත් පිරිසක් ග්‍රීසියට පැමිණ එයින් නොනැවතී ඉතාලියට හා ස්පාඤ්ඤයට පැමිණ පදිංචි වූහ.
                                               ඉන්දූ-යුරෝපීය සංස්කෘතියේ ආදී කර්තෘවරුන්ද මෙම යක්ෂ ගොත්‍රික හෙළයන් බවට නොරහසකි."හොමෝ සේපියන් බලන්ගොඩයිස්" හෙවත් බලංගොඩ මානවයාගේ පරපුර ලෙස අපේ පුරාවිද්‍යාඥයන් හඳුන්වන්නේ මෙම රාවණ යුගයේ ආදී හෙළයාය.උතුරු සහ දකුණු ඇමෙරිකාවට විහිදී ගිය මෙම හෙළයන් මෙක්සිකෝවේ මායා ශිෂ්ඨාචාරයත්,දකුණු ඇමෙරිකාවේ බටහිර වෙරළ කොටසේ ''ඉන්කා" ශිෂ්ඨාචාරයත් ගොඩනඟා ඇත.ක්‍රි.පූ.510 දී ගීක්-ඉන්දු සබදතා ගොඩනැගීමටත් මෙම යක්ෂ ගොත්‍රික හෙළයන් වෙහෙස මහන්සි වූ බව ග්‍රීක් ඉතිහාස ග්‍රන්ථ වල සඳහන් වේ.මායා ශිෂ්ඨාචාරයේ ආදී කර්තෘ මයදානව නමැති වාස්තු විද්‍යාඥයාය.රාවණ රජතුමාගේ බිරිය ඔහුගේ දියණියකි.
                                           දක්ෂ නාවිකයන් වූ හෙළයන් එදා නදී තීරයේ මිසරයටත් මධ්‍යධරණී මුහුදේ ආසියාවටත් නුදුරුව පිහිටි ක්‍රීටයටත්,යුප්‍රටීස් නදී තීරයේ මෙසපොටේමියාවටත් යාත්‍රා කර ඇත.
                                           ලෙබනනයේ පිනිෂියස්වරුන්ද යක්ෂ ගොත්‍රික හෙළ සම්භවය ඇති පිරිසක් බව පුරාණ මුලාශ්‍ර වල සඳහන් වේ.රොමය නීතී සම්පාදනය කළ බුද්ධිමත් පිරිසක් වූ (Thessalian) තෙසාලියන්වරුන්ද ඈත අතීතයේ සාලිකේ නමින් හැදින්වූ ශ්‍රී ලංකාවේ සම්භවය ඇති බ්‍රාහ්මය පිරිසක් යැයි.ඇතම් මුලාශ්‍ර වල සඳහන් වේ.ඈත අතීතයේ දැනට වර්ෂ 7,500 කට පෙර ශ්‍රී ලංකාවේ විසූ සමෘද්ධිමත් යක්ෂ ,නාග,දේව,ගොත්‍රික හෙළයන් මුළුමහත් ලෝකයේම ශිෂ්ඨාචාර බිහිකිරීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ මානව පිරිසක් බව ආඩම්බරයෙන් පැවැසිය හැකිය.


ඉන්කා ශිෂ්ඨාචාරය:-


රුවන්වැලිසෑය


ශ්‍රී ලංකාවේ පිහිටි ස්ථූපයක් වන රුවන්වැලි සෑය එහි ඇති වාස්තු විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යවත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර පූජනීය තත්වයට පත්වී ඇති ස්ථූපයකි මෙම ස්ථූපය සොළොස්මස්ථාන(පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන (අනුරාධපුරයේ පූජනීය ස්ථාන අටකි.)අතරින් එකකි.උසින් අඩි 300ක් (මීටර් 92) සහ අඩි 950ක (මීටර් 292) විෂ්කම්භයකින් යුක්ත වන මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ.

ස්වර්ණමාලි මහා සෑයේ ඉතිහාස කථාව

                     

මේ මහා භද්‍ර කල්පයේ සතර වැනි සම්මා සම්බුදු රජුන් ලෙස පහළ වූ අප ගේ ගෞතම බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝ සතුන් සසර කතරින් එතෙර කරවමින් දහම් අමා වැසි වස්සවමින් වැඩ සිට බුද්ධ කෘත්‍ය සම්පූර්ණ කොට පිරිනිවන් පා වදාළ කල්හි ඒ බුදුරජාණන් වහන්සේ ගේ පිවිතුරු ළය මඩලෙන් උපන් ක්ෂීණාශ්රව මහ රහතන් වහන්සේලා විසින් ශිෂ්‍යනුශිෂ්‍ය පරම්පරාව මගින් උතුම් ශාසන දායාදය වන චතුරාර්ය සත්‍යය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය අඛණ්ඩව, අවිච්ඡින්නව, පාරිශුද්ධව පවත්වාගෙන එන ලද්දේ ය.
එමෙන්ම බුදු සසුනට ඇතුළු වන්නා වූ ඇතැම් පුද්ගලයන් විසින් කරනු ලබන දුර්මතයන්ගෙන් කලින් කලට ඇති වන්නා වූ ශාසනික අර්බුදයන් සමනය කරමින් ශාසනභාරධාරී මහ රහතන් වහන්සේලා ධර්ම සංගායනා මගින් උතුම් ධර්ම විනය යළි යළිත් ස්ථාපිත කරන ලද්දේ ය. ඒ ආකාරයෙන් දඹදිව් තලයේ ගෞතම බුද්ධ ශාසනය මහත් ආනුභාව සම්පන්නව බැබලෙමින් පවතින කල්හි යලිත් එයට අනතුර පහළ වූ විට ධර්මාශෝක අධිරාජයා ගේ සහයෙන් මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ විසින් තුන් වන ධර්ම සංගායනාවන් යලිත් ස්ථාපිත කරන ලද ගෞතම බුදු සසුන සකල ලෝකය තුල පතුරුවා හැරිමේ පරම පිවිතුරු හැගීමෙන් යුතුව නා නා දේශයන් වෙත රහතන් වහන්සේලා පිටත් කොට යවන ලද්දාහු ය.
එහිදී අප ගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ නිකෙලෙස් ළය මඩලෙහි උපන් බුදු පුතනුවන් වහන්සේ නමක් වූ හැම කල්හී පිවිතරු සිත් ඇති මහා පින්වන්ත වූ මිහිඳු මහ රහතන් වහන්සේව ඉත්ථීය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේරයන් වහන්සේ යන සඟ පිරිස ද කැටුව භණ්ඩුක උපාසක සමග මෙම ලංකාවට එවා වදාරණ ලද්දේ ය. එසේ වැඩමවා වදාළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ විසින් පිහිටුවා වදාරන ලද ගෞතම බුද්ධ ශාසනයේ ආලෝකයෙන් අපගේ මාතෘ භූමිය වූ ශ්‍රී ලංකාද්වීපය සදහම් එළියෙන් ආලෝකමත් වූයේය.
එසේ උතුම් බුදු සසුන රක්ෂිතව ගෝපිතව සිරිලක් ධරණි තලයට ශාන්තිය උදා කරමින් පවතින කල්හි පරදේශ ආක්‍රමණයන්ගෙන් සහ මිසදුටු බලවේගයන්ගෙන් ඇති වූ ශාසන පරිහානිකර අර්බුදයන් බලවත්ව පැමිණි යුගයක “මාගේ මේ ව්‍යායාමය රජ සැප විඳිම පිණිස නොව ගෞතම බුදු සසුනේ චිරස්තිථීය පිණිස ම වන්නේ ය. කියා ලක්දිව එක්සත් කොට රජ පැමිණි දුටුගැමුණු මහා නරේන්ද්‍රයන් හට රජමාලිගයෙහි රන් කරඩුවක තැන්පත් කොට තිබුණු රන් පතෙක ලියා ඇති එක්තරා වාක්‍යයක් කියවන්නට ලැබුනේය.
එය වනාහි දෙවන පෑතිස් රජතුමා හට මිහිඳු මහ රහතන් වහන්සේ විසින් වදාරණ ලද අනාගත වාක්‍යයකි. එනම් පින්වත් මහරජාණෙනි, තොප ගේ මුණුපුරෙක් වන පින්වත් කුමරෙක් දුට්ඨගාමිණී අභය නමින් අනාගතයෙහි ලංකේශ්වර වන්නේ ය. ඒ මහා ප්‍රාඥ වූ නරපතිතෙමේ සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කොට එක්සිය විසිරියනක් උස් වූ මනෝරම්‍ය වූ ස්වර්ණමාලී නම් මහා ස්ථූපයක් කරවන්නේ ය. එමෙන්ම ශාසන මාමක වූ ඒ මුණුබුරාණෝ නොයෙක් මාණික්‍යයන්ගෙන් විභූෂිත වූ තව්තිසාවෙහි සුධර්මා නම් වූ දිව්‍ය සභාව පරදවා නව මහලින් සුසැදි ලෝවාමහාප්‍රාසාදය නම් වූ උපෝසථාගාරයක් ද කරවන්නාහු ය. මෙම අනාගත වාක්‍යය කියවූ දුට්ඨගාමිණී අභය නරපතිතුමා තෙරුවන් කෙරෙහි උපන් බලවත් ශ්‍රද්ධාවෙන් යුතුව ප්‍රීතියෙන් උද්දාමව අත්පොලසන් දුන්නේ ය.
ඉක්බිති මහමෙව්නා උයනට රහතුන් වහන්සේලා ප්‍රධාන භික්ෂු සංඝයා රැස් කරවා ’පින්වත් ස්වාමීන් වහන්ස, නුඹ වහන්සේලා ගේ පොහොය කර්මය උදෙසා දිව්‍ය විමානයක් බඳු වූ ප්‍රාසාදයක් කරවන්නට මම කැමැත්තෙමි. එම නිසා එක්කෙනෙකුන් වහන්සේ දිව්‍ය විමානයකට පිටත් කොට යවා ඒ ආකාර වූ සිතියමක් මට ගෙන්වා දෙන සේක්වා.
එකල්හී භික්ෂු සංඝයා විසින් රහතන් වහන්සේලා අට නමක් දෙව්ලොවට පිටත් කොට යවන ලද්දාහු ය. එහිදී භරණි නම් දෙව් දුව ගේ දිව්‍ය විමානය ඒ රහතන් වහන්සේලා හට දැක ගන්නට ලැබුණේ ය. එහි අතීත කතාව කෙසේද යත්, මේ මහා භද්‍ර කල්පයෙහි තුන්වැනිව පහළ වී වදාළ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ අශෝක නම් බ්‍රාහ්මණ පින්වතෙක් නිබඳව සංඝයා උදෙසා දන්පැන් පුදන්නේ එය මනාකොට කරනු පිණිස භරණී නම් දාසිය හට පවරන ලද්දේ ය. එකල්හී ඕතොමෝ ජීවිතාන්තය දක්වා සඟ බත් මැනැවින් පුදන්නී, මරණින් මතු නිදා පිබිදියාක් මෙන් ඉතා චිත්තාකර්ශණීය වූ දිව්‍ය විමානයක උපන්නී ය.
එකී දිව්‍ය විමානයෙහි උපන් භරණී දෙව් දුව සැම කල්හී දහසක් දෙවඟනන් පිරිවරන ලද්දී ය. ඇගේ පිනට පහළ වූ මාණික්‍යම දිව්‍ය ප්‍රාසාදය උසින් දොළොස් යොදුනක් වූයේ ය. හාත්පසින් අට සතලිස් යොදුනක් වූයේ ය. කූටාගාර දහසකින් සැරසුනේය. මහල් නවයකින් සෝභමාන වූයේ ය. ගබඩා දහසකින් යුතු වූයේ ය. සීහපංජරකාවාට නැමැති දුර බැලිය හැකි කවුළු දහසකින් සැරසුනේ ය. කිංකිණිජාලයන්ගෙන් යුතු වට අදින ලද තිර පෙලෙන් අලංකාර වූයේ ය. ඒ ප්‍රාසාදය මධ්‍යයෙහි හාත්පසින් ලෙළ දෙන ධජ පතාකයන්ගෙන් විභූෂිත වූ අම්බට්ඨික නම් වූ ප්‍රාසාදයක් පිහිටියේ ය. තව්තිසා දෙව්ලොව වඩිනා රහතන් වහන්සේලා හට මෙම භරණී දෙව්දුවගේ ප්‍රාසාදය දැක ගන්නට ලැබුනේ ය. ඒ කෙරෙහි පහන් වූ සිත් ඇති රහතන් වහන්සේලා එය විස්තරයක සටහන් කොට භික්ෂු සංඝයා වෙත රැගෙන වැඩි සේක.
එකල්හී එය දුටු දුටුගැමුණු නරනිඳු තෙමේ අතිශයින් ම පැහැදී නවමහල් ලෝවාමහාප්‍රාසාදය නම් වූ උපෝසථාගාරය කරවා සත්දිනක් මුළුල්ලේ පුද පූජාවන් පවත්වා අපමණ ප්‍රීතියට පත් වූයේ ය. ඉක්බිති දුටුගැමුණු නිරිඳුන් ලක්ෂයක් රන් කහවණු වියදම් කොට උඩ මළුවේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට බෝධි පූජාවක් කරවා නුවර පැදකුණු කරන්නේ මහාසෑය පිහිටන බිමෙහි සිටුවන ලද ශිලාස්ථම්භය දැක කියවන්නට ලැබුණේය. එහි සඳහන් වුයේ ද රාජ මාලිගයෙහි කරඬුවක තැන්පත් කොට තිඛෙන රන් පතෙහි ඇති මිහිඳු මහරහතන් වහන්සේ ගේ අනාගත වාක්‍යය නිසා රජතුමා මහත් සතුටට පත් වූයේ ය.
එකල්හී ප්‍රීතිප්‍රමෝදයෙන් යුතු රජතුමා එදින රාත්‍රීයේ රාජභෝජන වළඳා ලොවට උතුම් මහා සෑය කරන්නට සිතමින් සේසත යට සයනය කරමින් කල්පනා කරන්නට වූයේ ය. ’මම් වනාහී ගෞතම බුදු රජාණන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට මහාසෑයක් කරවන්නට තරම් පින් ඇති කෙනෙක් වෙමි. අහෝ` එය මට මහත් ලාභයක් ම වන්නේ ය. එහෙයින් ලක්වැසි කිසිවෙකුටත් පීඩා නොකොට අය බදු වලින් නොපෙලා දැහැමින් උපයන ලද වස්තුවෙන් මහාසෑය කරවන්නට ඇත්නම් කොතරම් අගනේදැයි සිතමින් සිටියේ ය.
එකල්හී මේ පින් සිතිවිල්ල දැන ගත් රාජසේසතෙහි විමනක් තනා සිටි දෙව්දුව ඒ කරුණ දෙවියන්ට සැල කරන ලදුව සිරිලක පිහිටුවන්නා වූ මහාසෑය හදන්නට දුටුගැමුණු මහා රජාණන් හට උපකාර වීම පිණිස දෙව්ලොව දෙවියන් අතර මහත් ස්ථුපඝෝෂාවක් පැන නැංගේ ය. එකල්හී සදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ විශ්වකර්ම දෙව්පුතුන් හට අණ කරන්නේ ’එම්බා දිව්‍ය පුත්‍රය, ගෞතම සසුනෙහි පහන්ව සිටින දුටුගැමුණු නරනිඳු තෙමේ මහාසෑය කරවන්නට සිතමින් සිටින්නේ ය. එබැවින් තෙපි එහි ගොස් අනුරාධපුරයෙන් යොදුනක් දුරින් පිහිටි ගම්භීර නම් නදිය අසබඩ මහාසෑයට ගඩොල් මවන්නැයි පවසා සිටියේ ය.
පසුදින දුටුගැමුණු රජතුමා හට මහාසෑය උදෙසා ගඩොල් මැවී ඇති බව අසා අපමණ චිත්‍රප්‍රසාදයක් ඇති වූයේ ය. එමෙන්ම අනුරපුරයට ඊසාන දිගින් තුන් යොදුනක් ගිය තැන්හී ආචාරවිටි නම් ගමෙහි නොයෙක් ප්‍රමාණයෙන් යුතු රන්බිජු පහළ වී තිබුණේ ය. එහි තිබූ රන්බිජු අතර වියතක් පමණින් විශාල වූ බොහෝ ස්වර්ණ බීජයෝ වූවාහුය. කුඩා වූ ස්වර්ණ බීජයෝ අඟල් ප්‍රමාණ වූවාහුය. අතිවිශාල බිම් කඩෙක පැතිර තිබූ ඒ සියළු ස්වර්ණ බීජයන් රජතුමා විසින් මහාස්ථූපයට වෙන්කරන ලද්දේ ය.
අනුරපුරෙන් නැගෙනහිර දිශාවෙහි සත්යොදුනක් ගිය තැන්හී මහවැලි ගෙඟන් එතෙරවූ තඹවිටි නම් ගමෙහි මහසෑයට තඹ සහ යකඩ උපන්නේ ය. අනුරපුරයට ඊසාන දිගින් සතර යොදුනක් ගිය තැන්හී සමන් වැව නම් ගමෙහි වැව් තෙර වැල්ලෙහි අති විශාල වූ බොහෝ මාණික්‍යයෝ උපන්නාහු ය. අනුරපුරයෙන් දකුණු පස අට යොදුනක් ගිය තැන්හී අම්බට්ඨකෝල නම් ජනපදයෙහි එක්තරා ගල්ලෙනක මහා රිදී කඳක් පැන නැංගේ ය. අනුරපුරයේ බටහිර දෙස පස් යොදුනක් ගිය තැන්හී උරුවේල නම් පටුනෙහි වර්ණයෙන් හා ප්‍රමාණයෙන් නෙල්ලි ගෙඩි තරම් විශාල වූ මුතු ද පබලූ ද මුහුදෙන් ගොඩ ගසන ලද්දේ ය. අනුරපුරයෙන් උතුරු දිශාවෙන් සත් යොදුනක් ගිය තැන්හි පෙලවැව් නම් ගමෙහි වැවට වැටෙන දිය කඳුරැලියක වැලි අතරේ ඇඹරුම් ගල් ප්‍රමාණයෙන් විශාල වූ දියඛෙරලිය මල් පැහැ ඇති මහා මිණි රුවන් සතරක් උපන්නේ ය. ගෞතම බුදු සසුනෙහි පහන් සිත් ඇති සාසන මාමක නරනිඳු තෙමේ ඒ ඒ තැන පහළ වූ වස්තූන් ගැන තොරතුරු ගෙන ආ සියල්ලන්ට ම ආදර ගෞරව දක්වා මැනැවින් සත්කාර කළේ ය. ඒ සියළු වස්තුව රුවන්වැලි මහා සෑය උදෙසා දේවානුභාවයෙන් පහළ වූ පූජාවන් ම වුයේ ය.

මේ ආකාරයෙන් මෙම මහා ස්ථූපය කරවන්නට සියළු පිරිකර සම්පූර්ණ වුන කල්හි වෙසක් පුන් පොහෝ දිනයෙහි මහාසෑය කරවන්නට සූදානම් වී මුල්වැඩ අරඹන ලද්දේ ය. එහිදී මහසෑ බිමෙහි පිහිටි එක්තරා රන්තෙලඹු ගසක් ඉවත් කළ යුතු වුයේ ය. එකල්හී එහි විමන් තනා සිටි ස්වර්ණමාලී නම් පිනැති දෙව්දුවක් රහතන් වහන්සේලා මුණ ගැසී ඇගේ දිව්‍ය විමානය පිහිටි රන්තෙලඹු ගස ඉවත්නොකරන්නැයි ඉල්ලා සිටියා ය. එවිට රහතන් වහන්සේලා ඒ දෙවඟන හට මහාස්ථූපයේ ආනුභාව ගැන පවසා වෙන විමානයකට යන්නට සුදුසු රුකක් පෙන්වා දුන් සේක. ස්වර්ණමාලී දෙව්දුව රහතුන්ගේ ආයාචනයට සතුටු වී රන්තෙලඹු ගසින් ඉවත්ව වෙන විමානයකට යන්නට කැමැත්ත පළ කොට සිටියා ය. නැවත ඕතොමෝ තමාගේ නාමයෙන් මහා සෑය බඳිනා සේක්වායැයි රහතන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියා ය. එකල්හී ඇයගේ ඉල්ලීමට සවන් දුන් රහතන් වහන්සේලා ස්වර්ණමාලී යන නාමය සහිතව මහාස්ථුපය කරවීම සුදුසු යැයි දුටුගැමුණු රජතුමා හට දැනුම් දුන්නාහු ය.

එකල්හී ස්වර්ණමාලී දෙව් දුව නමින් ස්වර්ණමාලී මහා සෑය තැනවීමට සුදුසු වූ ඒ බිම් කඩෙහි පිහිටි ශිලාස්ථම්භය බැහැර කොට මහාසෑය පිහිටන භූමියෙහි සත්රියනක් යටට සාරවා පස් ඉවත් කරන ලද්දේ ය.
අතිශයින් ම විචක්ෂණ නුවණ ඇති මහාප්‍රඥ වූ දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ යෝධයන් ලවා සුනු හා ගල් ගෙන්වා මැනැවින් කුඩු කරවා එම භූමියෙහි ඇතිරුවේ ය. ඉන් පසු ඝන සමින් වසන ලද පතුල් ඇති හස්තිරාජයන් ලවා මැනැවින් පාගවන ලද්දේ ය. ඒ මත ඇතිරීම පිණිස ආකාශ ගංගාව ගලා වැටෙන කල්හී නිරන්තරයෙන් තෙත් වූ තිස් යොදුනක් භූමියක පිහිටි සියුම් සුවඳ මැටි ඇති නවනීත හෙවත් වෙඬරු මැටි නම් වූ සියුම් මැටි සෘද්ධිමත් වූ රහත් සාමණේරයන් වහන්සේලා හිමාලයෙන් ගෙන වැඩි සේක. සෑ පිහිටන බිමෙහි ගල් අතුරා හස්තිරාජයන් ලවා තලවා එහි සිදුරු වැසෙන්නට නවනීත මැටි මැනැවින් අතුරන ලද්දේ ය. ඒ මත දෙවියන් විසින් මවන ලද ගඩොල් අතුරන ලද්දේ ය. ඒ මත ඉතා පිරිසිදු වූ කරගල් ද ඒ මත කුරවින්ද නම් විශේෂ පාෂාණය ද අතුරා ඒ මත සවිමත් යකඩ දැලක් දමන ලද්දේ ය. ඒ යකඩ දැල වැසෙන්නට බොරළු දමන ලද්දේ ය. එය සමකොට තලවා ඒ මත සෘද්ධිමත් රහත් සාමණේරයන් වහන්සේලා විසින් හිමාලයෙන් ගෙන එන ලැබූ පළිගු මැණික් ගල් අතුරන ලද්දේ ය. එහි සියළු සිදුරු වැසෙන්නට ඒ මත නවනීත මැටි අතුරන ලද්දේ ය. ඉන් පසු රජතුමා රසදිය නම් රසායනයෙන් මිශ්‍ර කරන ලද මැලියම් තවරන ලද්දේ ය. එය මත අඟල් අටක් ඝන වු ලෝහ තහඩුවක් මැනැවින් අතුරන ලද්දේ ය. ඒ ලෝහ තහඩුව මත තල තෙලින් පදම් කොට ගත් රත්සිරිගල් අතුරන ලද්දේ ය. ඒ මත අඟල් සතක් ඝණ වූ රිදී තහඩුවක් මැනැවින් අතුරන ලද්දේ ය.
මේ ආකාරයෙන් ගෞතම බුදු රජුන් කෙරෙහි පිහිටි අපමණ ශ්‍රද්ධාවෙන් යුතුව අපගේ දුටුගැමුණු මහරජාණන් ඒරිදී තහඩුව මත ගොඩනැගෙන මහාසෑය පිණිස මුල් ගල් තබන පින්කමට මහා සංඝරත්නයට ආරාධනා කර සිටියේ ය. ’පින්වත් ස්වාමීන් වහන්ස, අපගේ සර්වඥරාජෝත්තමයන් වහන්සේ උදෙසා ස්වර්ණමාලී මහාචෛත්‍ය කරවන්නට වූ මංගල ගඩොල හෙට උදා වන වෙසක් පුන් පොහෝ දිනයේ මම පිහිටුවන්නෙමි. එබැවින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා සෑ බිමට වඩින සේක්වායි ආදර බැතියෙන් යුතුව භික්ෂු සංඝයාට ඇරයුම් කොට අනතුරුව ලංකාවාසී සැදැහැවතුන් හටද ’පින්වත් ජනයනි සෙට දිනයේ අපගේ බුදු රජාණන් වහන්සේට පුද පූජාවන් පවත්වා පෙහෙවස් සිල් සමාදන් වී සුවඳ මල් ආදිය ගෙන මහා සෑය පිහිටුවන භූමිය වෙත පැමිණෙත්වා යැයි කියා සිටියේ ය.
ඉක්බිති ලක්බුදු සසුනෙහි පිනට පහළ වූ දුටුගැමුණු මහරජාණන් ගේ අවවාද පරිදි ස්වර්ණමාලී මහා සෑය කරා යන මග දෙපස අලංකාර කරවා මහා විහාර භූමියට ඇතුලූ වන නුවර සතර දොරටුවෙහි කරණවෑමියන් තබන ලද්දේ ය. බොහෝ සුදු වස්ත්‍ර තබන ලද්දේ ය. ප්‍රණීත ආහාර පාන තබන ලද්දේ ය. එහි පැමිණෙන්නා වූ මහජනයා හිස් රැවුල් කපා දිය නා මධුර වූ ආහාරපානයන් ගෙන් සන්තර්පනය වි සුවඳ මල් රැගෙන එම භූමියෙහි රැස් වූවාහු ය. දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ මැති ඇමති සේනාව පිරිවරාගෙන මහා සෑය පිහිටන බිමට රාජකීය ලීලාවෙන් සම්ප්‍රාප්ත වන කල්හී සිව්සැට බරණින් සැරසුන සුන්දර නාටිකාංගනාවෝ දිව්‍ය කන්‍යාවන්ගේ සෝභා මතු කරවමින් බුදු ගුණ ගායනා කරමින් නැටුම් දක්වමින් ආතත, විතත, විතතාතත, ඝන, සුසිර යන පංච තූර්ය නාදයෙන් ඒකනින්නාද කරවමින් පෙරහැරේ ඉදිරිපස ගමන් කලාහු ය.
ගෞතම බුදු සසුනේ පිළිසරණ ලැබ ක්ෂීණාශ්රව මහරතන් වහන්සේලා ද මෙම අසිරිමත් පින්කම උදෙසා ලොව නා නා දිශාවන්ගෙන් මේ ලක් දිවට සතුටු සිතින් වැඩම කළ සේක. රජගහ නුවර ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේලා අසූදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. බරණැස ඉසිපතන මිගදායේ සිට ධම්මසේන රහතන් වහන්සේ දොළොස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ සිට පියදස්සී රහතන් වහන්සේ සැටදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක.
විශාලා මහනුවර මහ වනයේ සිට බුද්ධරක්ඛිත රහතන් වහන්සේ දහඅටදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. කොසබෑ නුවර ඝෝෂිතාරාමයේ සිට මහා ධම්මරක්ඛිත රහතන් වහන්සේ තිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. උදේනි නුවර දක්ඛිණගිරි විහාරයේ සිට මහා ධම්මරක්ඛිත රහතන් වහන්සේ සතලිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. පාඨලීපුත්ර අගනගරයෙහි අශෝකාරාමයේ සිට මිත්තණ්ණ රහතන් වහන්සේ එක්ලක්ෂ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. කාශ්මීර මණ්ඩලයේ සිට උත්තිණ්ණ රහතන් වහන්සේ දෙලක්ෂ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක.
පල්ලවභෝග ජනපදයේ සිට මහාදේව රහතන් වහන්සේ සාරලක්ෂ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. යෝනක දේශයෙහි අලසන්දා නගරයේ සිට මහාධම්මරක්ඛිත රහතන් වහන්සේ තිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. වින්ද්‍යා වනපියසේ වත්තනීය සේනාසනයේ සිට උත්තර රහතන් වහන්සේ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. බුද්ධගයා බෝධි මණ්ඩල විහාරයේ සිට චිත්තගුත්ත රහතන් වහන්සේ තිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. වනවාස ප්‍රදේශයේ සිට චන්ද්‍රගුප්ත රහතන් වහන්සේ අසූදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. කයිලාස විහාරයේ සිට සුරියගුප්ත රහතන් වහන්සේ අනුසය දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. මේ පින්කම සඳහා ලංකාද්වීපයෙන් වැඩම කොට වදාළ රහතන් වහන්සේ ලා ප්‍රමුඛ මහා සංඝරත්නයේ ගණන පමණ කළ නො හැක්කේ ම ය.
මේ අයුරින් වැඩම කොට වදාළ ගෞතම බුදු රජුන්ගේ ශ්‍රාවක සඟ රුවන දුටු දුටුගැමුණු නිිරිඳාණෝ ශ්‍රද්ධාවෙන් කුල්මත් වී ගිය සිතින් යුතුව මලින් සංඝයා පුදා පසඟ පිහිටුවා වන්දනා කොට මහා සෑය පිහිටුවන බිමට පැමිණියාහුය. ඒබිම මැද පිහිටුවන ලද රන් කණුවට බඳින ලද රිදියෙන් නිමවූ සීමා දණ්ඩ ගෙන චෛත්‍ය පිහිටුවන භූමිය සළකුණු කරමින් ගමන් කළේය. එහිදී එහි ප්‍රමාණය සිද්ධාර්ථ නම් මහරහතන් වහන්සේ පෙන්වා වදාරන ලද්දේය. නොපසුබට වීර්යය ඇති ශ්‍රද්ධා සම්පන්න වූ දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ එම භූමිය මැද අට දිසාවට යොමු කරන ලද්දාවූ රනින් ද රිදියෙන් ද නිමවන ලද පුන් කලස් අට බැගින් තැබ්බවූයේ ය. එම අට දිසාවට සුවඳ මැටියෙන් තනවන ලද ගඩොල් කැට අටක් තැබ්බවූයේ ය.
එකල්හී දුටුගැමුණු මහරජතුමා පෙරදිසාවේ පිහිටි සුවඳ කැවූ මැටි මත ප්‍රථම ගඩොල සකස්ව තැන්පත් කළේය. අනතුරුව රහතන් වහන්සේලා ප්‍රමුඛ කොට දුටුගැමුණු නිරිඳු දෑ සමන් මල් පුදන කල්හි සැදැහැයෙන් ඉපිල ගිය ලක්මව කම්පිත වූවාය. ඉතිරි ගඩොල් ද එක් එක් අමාත්‍යයෙක් ලවා පිහිටවූයේ ය. මෙසේ වෙසක් පුන් පොහෝ දින ආරම්භ කරන ලද ස්වර්ණමාලී මහා ස්ථුපයේ මුල් කටයුතු ඇසළ මස පුන් පොහෝ දින සම්පූර්ණ කරන කල්හි පියදස්සී නම් මහරහතන් වහන්සේ සැදැහැවතුන්ගේ සිත් නිවන් මගට යොමු කරවමින් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළ සේක. ඒදේශනාව අසා මහාසෑය පිහිටුවන භූමියේ සිට සතලිස් දහසක් ජනයා සෝවාන් මාර්ගඵලයට පත් වූවාහු ය. දහසක් ජනයා සකදාගාමී වූවාහු ය. දහසක් ජනයා අනාගාමී වුවාහු ය. දහසක් ජනයා අරහත්වයට පත් වූවාහු ය. දහඅට දහසක් භික්ෂුන් වහන්සේලා ද, දහ හතර දහසක් භික්ෂුණීන් වහන්සේලා ද අරහත් ඵලයට පත් වුවාහු ය.

මහාසෑයේ ධාතු ගර්භය කරවීම

                            

ගෞතම බුදු සසුනෙහි පහන් වූ සිත් ඇති දුටුගැමුණු රාජතුමා ගේ ආයාචනය පරිදි වැඩමකොට වදාළ සංඝරත්නය සතියක් මුළුල්ලේ රජතුමාගෙන් දන්පැන් පිළිගැනීමට ඉවසා වදාළ සේක. රජතුමා චෛත්‍යස්ථානය පිහිටන හාත්පස සහ අට තැනෙක්හි මණ්ඩප තනවා මහාදන් පැවැත්වූයේ ය.
අනතුරුව දුටුගැමුණු මහ නිරිඳාණන් මහා සෑයේ කටයුතු ආරම්භ කිරීම පිණිස සුදුසු වඩුවන් සොයන්නේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් බැල්ම හෙලන ලද මහ නැණවත් වඩුවෙක් රන්තලියක් ජලයෙන් පුරවාගෙන රජු ඉදිරියට පැමිණියේ ය. අතින් දිය ස්වල්පයක් ගෙන ඒදිය පිටට ගැසූ කල්හි රන්තලියේ පිරවූ ජලය මතින් සුවිසල් පලිඟු ගෝලයක් බඳු මහා දියබුබුලක් පැණ නැංගේ ය. ’පින්වත් දේවයන් වහන්ස, මෙබඳු සුන්දරසෝභා ඇති චෛත්‍ය ගර්භයක් කරන්නෙමිය එම වඩුතුමා පැවසූ කල්හී නරේන්ද්‍ර තෙමේ අතිශයින්ම සතුටට පත් වූයේ ය.
සැදැහෙන් ඔද වැඩී ගිය සිත් ඇති නරේන්ද්‍ර තෙමේ මා මිනිසුන් නොපෙලවා ගඩොල් ගෙන එන්නේ කෙසේදැයි සිත සිතා සිටින කල්හි ඒ ඒදිනයට වුවමනා සියළු ගඩොල් දේවානුභාවයෙන් මහාසෑයේ දොරටු සතර අසලට ගොඩගැසෙන්නේය. මේ දේවානුභාවය දුටු දුටුගැමුණු නිරිඳුන් අතිශයින්ම සන්තෝෂයෙන් යුක්ත වුයේ ය. මෙහි කිසි කටයුත්තක් නොමිලේ නොකල යුතු යැයි දැනුම් දෙන ලද්දේ ය. ඒඒදොරටුවෙහි සොලොස්ලක්ෂය බැගින් රන්කහවනු ද බොහෝ වස්ත්‍රාභරණයන් ද ප්‍රණීත වූ ආහාර පානයන් ද සුවඳ විලවුන් වර්ගයන් ද මුව සුවඳ කරවන්නා වූ ඛෙහෙත් වර්ගයන් ද තබ්බවා චෛත්‍ය කර්මාන්තය කරවන්නා වූ සියල්ලන්ටම අනුකූල පරිද්දෙන් ගන්නට සැලැස්වූයේ ය.
මහා චෛත්‍ය කරවනු ලබන කල්හි ඒ සඳහා වෙහෙස මහන්සි වූ සියදහස් සංඛ්‍යාත අනේක ජනයා පහන් සිතිවිලි උපදවා ගනිමින් බොහෝ පින් රැස් කර ගත්තාහු ය. බුදු රජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගත් පිවිතුරු ශ්‍රද්ධාව හේතුවෙන් සුගතියේ උපදින්නේ යැයි දන්නා වූ සැදැහැවත් ජනයා සතුටු සිතින් පින්කම් කරන්නාහු ය.
මෙම ස්ථුපය වඩාත් සවිමත් වීම පිණිස මහා චෛත්‍යස්ථානයෙහි ගඩොලින් නිමවන ලද ප්‍රධාන මල් ආසන තුනම සෘද්ධි සම්පන්න වූ රහතන් වහන්සේලා විසින් පොළොව සමකොට ගිල්ලවන ලද්දේ ය. මේ ආකාරයෙන් වාර නවයක් තුලදීම සෘද්ධිමත් රහතන් වහන්සේලා විසින් පිහිටුවා වන්දනා කොට ’ස්වාමීනී, පුෂ්පාසනයෝ පොළොවේ ගිලෙන්නාහු ය. තනවන ලද සියල්ල පොළොවේ ගිලෙන්නාහු ය. මෙයට හේතුව කවරේදැයි විචාරන කල්හි පින්වත් මහරජාණෙනි, තථාගතයන් වහන්සේගේ ධාතුන් පිහිටුවන මහාසෑය නොගිලෙනු පිණිස සෘද්ධිමත් භික්ෂුන් විසින් මෙය කරන ලද්දේ ය. ඒගැන සංකා නොඋපදවා චෛත්‍ය කර්මාන්තය කළ මැනවැයි වදාළ සේක.
එය අසා චිත්තප්‍රසන්න වූ රජතුමා චෛත්‍ය කර්මාන්තය කරවන්නට පටන් ගත්තේ ය. එකල්හී භික්ෂු සංඝයා වහන්සේ උත්තර සුමන යන සෘද්ධිමත් සාමණේරයන් වහන්සේලා දෙනම කැඳවා ’එම්බා ආයුෂ්මතුනි, මහාසෑයෙහි දාගැබ පිණිස මේඝ වර්ණ පාෂාණයන් ගෙන එනු මැනවැය වදාළ සේක. එකල්හී ඒදෙදෙනා වහන්සේ උතුරුකුරු දිවයිනට වැඩම කොට අසු රියන් දිග පළල ඇති මණ්ඩලාකාර වූ මනා පැහැයෙන් යුතු පාෂාණයන් ගෙන වැඩියාහුය. සෘද්ධිමත් රහතන් වහන්සේලා මල් ආසන මත එක් ගලක් තැන්පත් කළ සේක. ගල් සතරක් සතර පසින් සවි කළ සේක.
සාසනමාමක වූ දුටුගැමුණු නිරිඳාණෝ ස්වර්ණමාලී මහා චෛත්‍ය ගර්භය මතු දක්වන ආකාරයෙන් අලංකාර කරවන ලද්දාහුය. එම ධාතු ගර්භය මධ්‍යයෙහි රනින් නිමවූ සුවිසල් බෝධි වෘක්ෂයක් කරවන ලද්දේ ය. ගර්භය මුදුනේ හිරු මඩල ද, සඳු මඩල ද, තාරකා පන්තීන් ද කරවන ලද්දේය. එම බෝධින් වහන්සේ ගේ නැගෙනහිරින් ප්‍රභාෂ්වර වූ ස්වර්ණමය බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරවන ලද්දේය. ඒපිළිම වහන්සේට සුදු සේසත් දරන්නා වූ මහබඹුගේ රුව ද කරවන ලද්දේය. විජයුත්තරා නම් වූ ශංඛය අතැති සක් දෙවිඳුගේ රුව ද කරවන ලද්දේ ය. රන් වන් වීණාවක් ගත් අතින් යුතු පංචසිඛ නම් වූ දිව්‍ය ගාන්ධර්වයා ගේ රුව ද නාටිකාංගනාවන් සහිත වූ මහාකාල නම් නාගරාජයා ගේ රුව ද කරවන ලද්දේ ය. ඇතුපිට නැගී සිටින අත්දහසක් ඇති වසවත් මරු බිම්බරක් සේනා සහිතව පලා යන රුව ද කරවන ලද්දේය.
සහම්පතී බ්‍රහ්මරාජයා ප්‍රථම ධර්ම දේශනාවට ඇරයුම් කරන රුව ද කරවන ලද්දේ ය. දම්සක් පැවතුම් සුත්‍ර දේශනාව වදාන අයුරු ද කරවන ලද්දේය. යසකුල පුත්‍රයා ගේ උතුම් පැවිදි බව ද භද්දවග්ගිය කුමාරවරුන් ගේ උතුම් පැවිදි බව ද මෙම සසුනෙහි ප්‍රථම රහතන් වහන්සේලා ගේ රූපයන් ද කරවන ලද්දේ ය. බිම්බිසාර නිරිඳුන් තෙරුවන් සරණ යන අයුරු ද, වේළුවනාරාමය පිළිගන්නා අයුරු ද, රජගහ නුවරට වඩිනා අයුරු ද කරවන ලද්දේය. සැරියුත් මුගලන් මහා කස්සප, අනුරුද්ධ මහාචුන්ද, මහාකච්චායන, සෝණ, කිම්බල, භද්දිය, ආනන්ද ආදී අසු මහ රහතන් වහන්සේලාගේ රූපයෝ ද කරවන ලද්දාහු ය.
රුවන් සක්මන ද කරවන ලද්දාහු ය. රාහුල කුමරුගේ හා නන්ද කුමරුගේ පැවිදි බව ද කරවන ලද්දාහු ය. දෙව්රම් වෙහෙර පිළිගැනීම ද ගන්ධබ්බ වෘක්ෂ මූලයේ ප්‍රාතිහාර්ය පෑම ද දෙව්ලොව වැඩම කිරීම ද දේවාරෝහන ප්‍රාතිහාර්යය ද මහා සමය සූත්‍ර දේශනාව ද රාහුලෝවාද සුත්‍ර දේශනාව ද මහා මංගල සුත්‍ර දේශනාව ද ධනපාල සමාගමය ද, අංගුලිමාල දමනය ද, ආලවක දමනය ද, අපලාල දමනය ද, බාවරී බ්‍රහ්මණයා ගේ ශිෂ්‍යයන් වන අජිත,මෛත්‍රිය ආදී පිරිස් තථාගත ශ්‍රාවකත්වයට පැමිණෙන පාරායන සමාගමය ද කරවන ලද්දාහු ය.
එමෙන් ම ආයුසංස්කාරය අත් හැරීම, චුන්දකම්මාර පුත්‍රගේ අවසන් දන් පිළිගැනීම ද පුක්කුස මල්ල රජදරුවන්ගේ වස්ත්‍ර පිළිගැනීම, ආනන්ද තෙරුන් වහන්සේ විසින් පැන් පිළිගැන්වීම සහ කුසිනාරා නුවර යමක සල් රුක් සෙවනේ උතුර දෙසට හිසලා තනවන ලද යහනේ සැතපී පිරිනිවනට වඩිනා රුව ද කරවන ලද්දාහු ය. දෙවි මිනිසුන්ගේ විලාපය ද මහාකස්සප මහරහතන් වහන්සේ සම්බුදු සිරිපා වන්දනා කිරීම ද සඳුන් දර සැයේ ගිනි ඇවිලීම ද, සල් මල් පිපී සුවඳ හැමීම ද, ද්‍රෝණ නම් බ්‍රාහ්මණයා විසින් ධාතු ඛෙදා දීම ද කරවන ලද්දේ ය.
එමෙන් ම වෙස්සන්තර ජාතකය ද තුසිත දෙව් ලොව සන්තුසිත දෙව් කුමරු ලෙස වාසය කිරීම ද, මහාමායා දේවිය කුස පිළිසිඳ ගැනීම ද, බෝසත් උපත ද, යශෝධරා සමග වන විවාහ මංගල්‍යය ද, මහා අභිනිෂ්ක්‍රමණය ද, දුෂ්කරක්‍රියාව ද සුජාතා සිටු දියණිය ගේ කිරිපිඩු පූජාව ද, මාර පරාජය ද, කරවන ලද්දාහු ය. දෙව් ලොව වසන්නා වූ තිස් තුන් දිව්‍ය කුමරුවෝ ද, දෙතිසක් දිව්‍ය කුමරියෝ ද, අටවිසි යක් සෙනෙවියෝ ද, අනේක වූ දෙවි දේවතාවෝ ද කරවන ලද්දාහු ය. පුන් කලස් ඔසවා ගත් දෙවි දේවතාවෝ ද, තූර්ය වාදන කරන්නා වු දෙවි දේවාතාවෝ ද, සරසන ලද කැඩපත අතින් ගත් දෙවි දේවතාවෝ ද, මාලා දාමයන් අතින් ගත් දෙවි දේවතාවෝ ද, ධජ පතාකයන් අතින් ඔසවා ගත් දෙවි දේවතාවෝ ද කරවන ලද්දාහු ය.
එමෙන්ම ගෞතම බුදු සසුන පවත්නා තාක් කල් දැල්වී දිලෙන්නා වූ සුවඳ තෙල් පිරි පහන් කරවන ලද්දේ ය. සුවඳ හමන සඳුන් තවරන ලද්දේ ය. චෛත්‍ය ගර්භය ආලෝකමත් වීම පිණිස එළිය දෙන මැණික් වර්ග ද ගොඩ ගසන ලද්දේ ය. මෙසේ සියලූ රූපයෝ ඝන රනින් ම කරන ලද්දාහු ය. අභිඥලාභී මහාප්‍රඥා වූ ඉන්ද්‍රගුප්ත මහ රහතන්වහන්සේ ගේ අධීක්ෂණය යටතේ චෛත්‍ය කර්මාන්තය මැනැවින් සම්පූර්ණ වූයේ ය. රජුන්ගේ රාජ සෘද්ධිය ද, දෙවියන්ගේ දේව සෘද්ධිය ද, රහතුන්ගේ ආර්ය සෘද්ධිය ද එකට කැටි වූ ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේ ගේ ධාතු ගර්භය මෙලෙසින් පිහිටුවන ලද්දේ ය.

ධාතු තැන්පත් කිරීම

තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ මහා ස්ථුපය කරවන්නා වූ දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ මේ අයුරින් ධාතු ගර්භයේ කර්මාන්ත නිමා කරවා භික්ෂු සංඝයා වන්දනා කොට ’පින්වත් ස්වාමීන් වහන්ස, මහත් ශ්‍රද්ධාවෙන් යුතු මා විසින් මහා සෑයෙහි ධාතු ගර්භයෙහි සියළු කර්මාන්තයෝ සම්පූර්ණ කරන ලද්දාහු ය. ඉතින් ස්වාමීනී හෙට දවසෙහි දී ධාතු නිදන් කරන්නෙමි. ඒසඳහා ධාතුන් වහන්සේලා කෙසේ ලබන්නේ දැයි නුඹ වහන්සේලා දන්නා සේක්වායි දැනුම් දී සිටියේ ය.
එකල්හී භික්ෂු සංඝයා විසින් ධාතුන් වහන්සේලා ලබා ගැනීමට සුදුසු භික්ෂුව වශයෙන් ෂඩ් අභිඥාලාභී සෝණුත්තර නම් රහතන් වහන්සේ ගේ නම යෝජනා කරන ලද්දාහු ය. ඒසෝණුත්තර නම් රහතන් වහන්සේ ධාතුන් වහන්සේලා රැගෙන ඒමේ සුදුසුකම් ලැබුවේ කෙසේ ද යත් ඒඅතීත ප්‍රවෘත්තිය මේ අයුරින් දත යුත්තේ ය.
අපගේ ස්වාමී වූ ලෝකනාථ වූ ජිනේන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ ලෝවැස්සන් ගේ හිත සුව පිණිස දනව් සැරි සරා වඩින කල්හී ගංගා නදීතෙර වාසී වූ නන්දුත්තර නම් තරුණයෙක් බුදු රජුන් කෙරෙහි ප්‍රසන්න වූයේ ය. හෙතෙමේ නිරන්තරයෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා නිමන්ත්‍රණය කොට දන් වළඳවන්නේ ය. ඉක්බිති ශාස්තෘන් වහන්සේ ප්‍රයාගප්‍රතිස්ඨාන නම් වූ ගංතොටින් සංඝයා සමග නැව් නැගි සේක. එසේ නැව් නැග ගංඟා නදියේ වඩිනා සේක. එකල්හී මහා සෘද්ධිමත් භද්දජි නම් මහරහතන් වහන්සේ ගංඟා නදියේ මැද ජලය කැළඹුන තැනක් දැක තමන් ගේ පෙර භවය සිහිකොට භික්ෂු සංඝයා හට මේ වචන පවසන ලද්දේ ය.
’පින්වත් ආයුෂ්මතුන් වහන්ස, මම් වනාහී එක්තරා යුගයක දී මහාපනාද නම් රජකෙනෙක්ව සිටියෙමි. එකල්හි මා විසින් වාසය කරන ලද විසිපස් යොදුන් රන් වන් ප්‍රසාදය දැන් මේ ගඟ දිය තුල ඇත්තේ ය. ඒප්‍රාසාදය කරා පැමිණෙන නදී ජලය ඝට්ඨනය වීම නිසා මෙතැන්හි දිය පැකිළීම වන්නේ ය. එකල්හී ඇතැම් භික්ෂුන් වහන්සේලා එය නොපිළිගෙන ශාස්තෘන් වහන්සේට සැල කලාහුය. එවිට සර්වඥයන් වහන්සේ ’පින්වත් භික්ෂුව, දැන් ඔබ මේ සංඝයා ගේ සැකය දුරු කළ යුතු යැයි වදාළ කල්හී භද්දජි මහරහතන් වහන්සේ විසින් මෙබඳු ප්‍රාතිහාර්යයක් කරන ලද්දේය. එනම් උන්වහන්සේ අහසට පැන නැඟි සේක. අහස් තලයෙහි පළඟක් බැඳ වැඩ සිටි සේක. අනතුරුව සියුම් අතක් දිගුකොට බඹ ලොව පිහිටි සිළුමිණි සෑය තම අත මත තබාගෙන නැවත එය රැස්වූ ජනයාට ද, සංඝයාට ද දැක්වූ සේක. යලි එය බඹ ලොව තිබූ තැනම තැන්පත් කළ සේක. ඉක්බිති භද්දජි මහරහතන් වහන්සේ ගංඟා නම් ගඟ දිය මත සක්මන් කොට මහපට ඇඟිල්ලෙන් ප්‍රාසාදයෙහි කොත් කැරැල්ල පටලවාගෙන එය ජලයෙන් ඔසවා උඩට මතුකොට නැවතත් ඉතා සෙමින් ජලයේ බැස්සවූ සේක.
මෙම ප්‍රාතිහාර්යය දුටු නන්දුත්තර නම් තරුණයා අතිශයින් ම පුදුමයට පත් වී ’අහෝ ` රහතුන් වහන්සේලාගේ ගුණ ආශ්චර්ය්‍යයි. මාගේ ශාස්තෘන් වහන්සේ ගේ ගුණය අතිශයින්ම ආශ්චර්ය්‍යයි. මට ද මා කරන ලද්දා වූ මේ පුණ්‍යාණුභාවයෙන් මෙවැනි ආකාරයෙන් සෘද්ධියෙන් යුතුව ධාතුන් වහන්සේලා ගෙන ඒ මට හැකියාව ලැබේවා යැයි දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත්තේ ය. ඒනන්දුත්තර තරුණයා ලංකාද්වීපයේ උපත ලබා සෝණුත්තර නමින් පැවිදිව උපසම්පදාවෙන් සොළොස් වසක් ඇත්තේ වී නමුත් උන්වහන්සේට ධාතුන් වහන්සේලා රැගෙන ඒමේ පින ඇති බව සංඝයා වහන්සේ දැන ගත් සේක. සංඝයා වහන්සේ ’ආයුෂ්මත් සෝණුත්තරය, ස්වර්ණමාලි මහාසෑයේ නිදන් කිරීම පිණිස ධාතුන් වහන්සේලා රැගෙන එනු මැනැව යි වදාළ කල්හි ’ස්වාමීනී, මම ධාතුන් වහන්සේලා කොයින් රැගෙන එම්ද විචාරණ ලද්දේ ය. එවිට භික්ෂු සංඝයා වහන්සේ මෙසේ වදාළ සේක. ’ආයුෂ්මත් සෝණුත්තරය, පිරිනිවන් මංචකයේ සැතපී වැඩ හුන්නා වු අපගේ ශාස්තෘ වූ ලෝකනාථ සර්වඥරාජෝත්තමයන් වහන්සේ ලෝසතුන් ගේ යහපත උදෙසා සක්දෙව් රජාණන් හට මෙසේ වදාරණ සේක පින්වත් දේවේන්ද්‍රය, පිරිනිවන් පෑමෙන් පසු තථාගත ශරීරයෙහි ධාතුන් වහන්සේලා ද්‍රෝණ අටක් ඉතිරි වන්නේය. එයින් එක් ද්‍රෝණ යක් රාම ග්‍රාමයෙහි කෝලිය රජුන් විසින් සත්කාර කරනු ලබන්නේය. එය නාලොවට ලැඛෙන්නේය. නාරජවරුන් විසින් පුදනු ලබන්නේය. ඉක්බිති තථාගතයන් වහන්සේ උදෙසා ලංකාද්වීපයේ කරවනු ලබන්නා වූ මහාස්ථුපයෙහි නිධානය පිණිස වන්නේය.
මේ කාරණාව දන්නා වූ මහා කස්සප මහරහතන් වහන්සේ ධර්මාශෝක නිරිඳුන් විසින් ධාතුන් වහන්සේලා විසිරුවා දඹදිව් තලය පුරා චෛත්‍යයන් කරවන බව දැන රජගහ නුවර නගරාසන්නයේ අජාසත් මහනිරිඳුන් විසින් කරවන ලද ස්ථූපයට ද්‍රෝණ සතක් පමණක් තැන්පත් කරවූ සේක. රාමග්‍රාමයෙහි ද්‍රෝණයක් වූ ධාතුන් වහන්සේලා නොගත් සේක. ධර්මාශෝක අධිරාඡ්‍යය තෙමේ ධාතුන් වහන්සේලා නිදන් කොට අසූ දහසක් ස්ථුප කරවන්නේ අට වැනි ද්‍රෝණයද ගෙන්වන්නට අදහස් කළේය. එකල්හි රහතන් වහන්සේලා ශ්‍රී ලංකාද්විපයෙහි පිහිටුවන මහාසෑය පිණිස ඒධාතුන් වහන්සේලා වෙන් කරන ලද්දේ යැයි පවසා ධර්මාශෝක නරේන්ද්‍රයන් වැළැක්වූ සේක.
රාමග්‍රාමයෙහි වූ ස්ථූපය වනාහී නදී තීරයෙහි කරවන ලද්දේය. එකල්හී ගංඟා නදියෙහි සැඩ දිය පහරින් ක්‍රමක්‍රමයෙන් බිඳී ගිය ගං තෙරෙන් ස්ථූපය දෙකඩ වී ගිය කල්හී ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරන ලද කරඬුව ගංඟා නදියට වැටුනේය. එය ක්‍රමක්‍රමයෙන් මහාසමුද්‍රයට ඇදී ගියේය. එකල්හී නා රජවරු එම කරඬුව දැක මහත් චිත්තප්‍රමෝදයෙන් යුතුව නම් මං‍ජේරික නම් නාග භවනට ගෙන ගියාහුය. ඉක්බිති මහාකාල නම් නාග රාජයා හට මෙය දැනුම් දුන්නාහුහ. එය ඇසු මහාකාල නාරජ තෙමේ ලක්ෂ ගණනින් නාගයන් පිරිවරන ලද්දේ අතිශයින් අලංකාර මණ්ඩපයක තැන්පත් කොට පුදනු ලබන්නේ ස්වකීය නා භවනට වඩමවා ගන්නා ලද්දේය. ඉක්බිති නාරජ තෙමේ එම ධාතුන් වහන්සේලා උදෙසා මාණික්‍යමය ස්ථුපයක් කරවූයේය. නිරතුරුවම රැකවල් කරන ලද්දේය. එහෙයින් ආයුෂ්මත් සෝණුත්තරයනි එහි ගොස් ඒධාතුන් වහන්සේලා වැඩමවා එනු මැනව. හෙට දවසේ මහාරජාණෝ ධාතු නිධානය කරවන්නාහුයැ යි සංඝයා විසින් වදාරන ලද්දේය.
දුටුගැමුණු නරනිඳු තෙමේ ධාතු නිධානය පිණිස සියළු කෘතයන් විධාන කොට විහාර මාර්ගය අලංකාර ලෙස සරසා අනුරාධපුර නගරය දෙව් විමනක් මෙන් සරසා ධාතු පූජාවට සූදානම් වූයේය. ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා කැදවා සකල ලංකාද්වීපයම අනේකාකාරයෙන් සැරසවුයේ ය. නරේන්ද්‍ර තෙමේ ස්වර්ණාභරණයෙන් සැරසී ඇත් අස් රථ පාබල යන සිව්රඟ සේනාවන්ගෙන් සමන්විත වී නාටිකාංගනාවන් ගේ උපහාරයන් මැද ඉදිරියට යන්නේය.සෛන්ධව නම් වූ සුදු අශ්වයන් බඳනා ලද සරසන ලද්දා වූ රථයට නැගුණු කණ්ඩුල හස්තිරාජයා සර්වාභරණයෙන් විභූෂිතව රන් කරඩුව කුම්භස්තලය මත තබා සේසත යට සිටියේය. එම රථය පිරිවරා ගත් දහස් ගණන් ස්ත්‍රී පුරුෂයෝ නොයෙක් මල් ද, නොයෙක් ආලෝකයන් ද දරා සිටියාහු ය. මහා මේඝ වනෝද්‍යානය සක්දෙව් රජුගේ නන්දන උයන මෙන් ඒකශ්‍රීයෙන් විරාජමාන වන්නට පටන් ගත්තේය. ධාතු පූජා පිණිස නින්නාදවන තූර්ය නාදයෙන් ද කන්කළු බුදු ගුණ ගායනාවන් ද අනුරාපුර නගරය ගිගුම් දුන්නේය.
නගරයේ පවත්නා මහා තූර්ය නාදය අසා සෝණුත්තර රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් පොළොවේ කිමිඳී මහාකාල නාගරාජයා ගේ නාග භවනයෙහි නාරජු ඉදිරියෙහි පහළ වූ සේක. නා රජ තෙමේ හුනස්නෙන් නැගී සිට සත්කාරකරන්නේ පැමිණි කරුණ විමසා සිටියේය. එකල්හී රහතන් වහන්සේ භික්ෂු මහා සංඝයාගේ සන්දේශය පවසන්නේ ’පින්වත් නාග නාග රාජයාණෙනි, අපගේ ශාස්තෘන් වහන්සේ වන සම්්‍යක් සම්බුද්ධ සර්වඥයන් වහන්සේ විසින් ලංකාද්වීපයෙහි ඉදිකෙරෙන මහා ස්ථුපයෙහි නිදන් කිරීම පිණිස වදාරණ ලද ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා දැන් ඔබ ලඟ ඇත්තාහු ය. ඒධාතුන් වහන්සේලා මාහට දෙනු මැනැව. එය රැගෙන යනු පිණිස මම පැමිණියෙමි වදාළ සේක.
ආගන්තුක ශ්‍රමණයන් වහන්සේ ගේ බස් ඇසීමෙන් මහාකාල නාරජ තෙමේ මහත් දොම්නසට පැමිණියේය. මෙම ශ්‍රමණයන් වහන්සේ ධාතුන් වහන්සේලා කෙසේ හෝ ගන්නට පොහොසත් වන්නේය. එබැවින් හැකිතාක් ඉක්මණින් එම ධාතුන් වහන්සේලා වැඩ සිටිනා තැනින් අන්‍ය වූ ස්ථානයක සැඟවිය යුත්තේ යැයි තම සමීපයෙහි සිටි බෑණනුවන් වන වාසුලදත්ත නම් නාගරාජයා හට ඉඟියකින් සංඥා කළේය. එකල්හී වාසුලදත්ත නම් නාරජතෙමේ මහාකාල නාරජුගේ අදහස දැන සැනෙකින් ධාතු මන්දිරයට පිවිසියේය. ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති කරඬුව ගිල්ලේය. මහා මේරු පර්වත පාදයට ගොස් දරන ලා සයනය කළේ ය. එවිට ඒනාග රාජයාගේ ශරීරය යොදුන් තුන්සීයක් දික්ව ගියේය. දරනය යොදුනක් තරම් වූයේ ය. දහස් ගණනින් යුතු විශාල පෙනයක් මවාගෙන සයනය කරන්නාහුය. නාරජුගේ මුඛයෙන් විටින් විට ගිනි දැල් පිට වන්නේය. දුම් දමන්නේය. එකල්හී බොහෝ දෙවියෝද නාගයෝද අද තථාගත ශ්‍රාවක වූ ශ්‍රමණ නාගයෙකුගේ ද දිව්‍ය නාගයෙකුගේ ද සංග්‍රාමයක් දැකිය හැකි වන්නේ යැයි කියා රැස් වූවාහු ය.
එකල්හි මහාකාල නා රජතෙමේ තම බෑණනුවන් විසින් ඒධාතුන් සඟවන ලද බව දැන ’අනේ ස්වාමීනි, ඔබ වහන්සේ සොයන ධාතුන් වහන්සේලා මා සන්තකයේ නැතැයි පවසා සිටියේය. මහරහතන් වහන්සේ ඒ ධාතුන් වහන්සේලා දෙනු මැනවැයි යලි යලිත් පවසන කල්හී ඒනාරජ තෙමේ රහතන් වහන්සේව ධාතු මන්දිරයට ගෙන ගොස් මාණික්‍යමය චෛත්‍ය පිහිටි භූමිය වර්ණනා කළේය. ’පින්වත් ශ්‍රමණයන්වහන්ස, ඇස් විදහා බලා වදාළ මැනව, නොයෙක් මාණික්‍යයන්ගෙන් ශෝභමාන වූ මේ චේතියඝරයද මේ අවට සැරසිලිද මැනැවින් බලනු මැනව, සකල ලංකාද්වීපයෙහි ඇති සියළු මුතු මැණික් එක් රැස් කළ ද මෙහි ඇති සඳකඩ පහණ තරම් වත් නොවටින්නේ ය. අන්‍ය වස්තුන් ගේ වටිනාකම ගැන කවර කතා ද? එහෙයින් පින්වත් ශ්‍රමණයන්වහන්ස, දැන් මේ නුඹ වහන්සේ කරන්නට යන්නේ මහා පුද සත්කාර පවතින්නා වූ තැනින් සර්වඥ ධාතූන් වහන්සේලා බැහැර කොට අල්ප සත්කාර පවතින්නා වූ තැනකට ගෙන යාම නොවේ ද? මෙය නම් අකටයුත්තකි යි පවසා සිටියේ ය.
එවිට සෝණුත්තර නම් රහතන් වහන්සේ නාරජ හට මෙසේ පිළිතුරු වදාරන්නාහු. ’පින්වත් නාගරාජය, තොපගේ මේ ධාතු මන්දිරයෙහි ඇති මුක්තා මාණික්‍ය හිරණ්‍ය ස්වර්ණාදියෙහි වටිනාකම පමණ කළ නොහැක්කේ ම ය. පින්වත් නාගරාජය එය මම් දනිමි. එහෙත් තොප හට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ නොහැක්කේම ය. එම නිසා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ ඇත්තා වූ ස්ථානයට ම ධාතුන් වහන්සේලා ගෙන යෑම යුතු වන්නේම ය. තථාගතයන් වහන්සේලා ලොවට පහළ වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවා දෙව් මිනිස් ලෝසතුන් සසර දුකින් එතෙර කරවීම පිණිසම ය. එය වනාහී සර්වඥයන් වහන්සේගේ ඒකායන පැතුම යි. එම කාරණය කරණ කොට ගෙන මම ධාතුන් වහන්සේලා ගෙනයන්නට පැමිණියෙමි. දුටුගැමුණු අභය මහරජාණන් අද ධාතු නිධානය කරන හෙයින් ප්‍රමාද නොකොට මා හට ධාතුන් වහන්සේලා දුන මැනවයි වදාළ සේක. රහතන් වහන්සේ ගේ ඒ බසට පිළිතුරු දෙන මහාකාල නාරජුන් ’පින්වත් ශ්‍රමණයන් වහන්ස, මා ලඟ ධාතුන් වහන්සේලා නැත්තේය. ධාතුන් වහන්සේලා වැඩ සිටින තැනක් ඔබ වහන්සේ දන්නාහු නම් ගෙන යනු මැනවයි කියා සිටියේය.
එකල්හී මහා ප්‍රාඥ වූ සෝණුත්තර රහතන් වහන්සේ එම වචනය නාරජු ලවා තුන් වරක්ම කියවාගෙන එහිම වැඩහුන් සේක. ඒක්ෂණයෙහිම ඉතා සියුම් අතක් මවා මහාමේරු පර්වතප්‍රාන්තයෙහි දුම් දමමින් නිදා සිටි වාසුලදත්ත නාරජුගේ මුඛයට ඒඅත ඇතුලූ කොට කුස තිබූ ධාතු කරඬුව ගෙන නාගය, සිටිනු මැනැවැයි කියා පොලොවෙහි කිමිද ගොස් සංඝයා මධ්‍යයෙහි උඩට මතුවී නැගී සිටි සේක. මෙය නොදත් මහාකාල නාරජු අප විසින් මෙම ශ්‍රමණයා රවටන ලදුව හිස් අතින්ම ගියේවයැයි සිතා ධාතුන් වහන්සේලා රැගෙන එනු පිණිස වාසුලදත්ත නාරජුන් හට දැනුම් දුන්නේය. එවිට වාසුලදත්ත නාරජ තෙමේ තම කුසේ කරඬුව නොදැක හඬමින් වැළපෙමින් අවුත් තම මාමණ්ඩිය වූ මහාකාල නාරජුට පවසා සිටියේය. නා රජ තෙමේ ද ශ්‍රමණයෙකු විසින් අපි රවටන ලද්දෝම යැයි හඬන්නට වුයේ ය. සියළු නාගයෝ රැස්ව එක් වන් හඬින් ශබ්ද නගා සෝක කරන්නට වූහ.
මෙය බලා සිටි දෙවියෝ භික්ෂු ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ජයග්‍රහණයෙන් සතුටට පත්ව ධාතු පූජාවට සැරසි මහා සෑ බිමට රැස් වූවාහු ය. ධාතුන් වහන්සේලා අහිමි වූ ශෝකයෙන් භරිත නාගයෝ භික්ෂු සංඝයා ඉදිරියට පැමිණ හඬන්නට වන්හ. ඔවුන් හට අනුකම්පා කර සංඝ තෙමේ ධාතුන් ස්වල්පයක් ලබා දුන්නේ ය. මහත් සතුටට පත් නාරජවරු බුදු ගුණ කිය කියා ස්ථූප පූජාවට එක් වුවාහු ය.
ශක්‍රදේවේන්ද්‍ර තෙමේ ධාතු කරඬුව තැන්පත් කිරීමට ස්වර්ණමය කරඬුවක් ද මැණික් පළගක් ද රැගෙන ආවේය. සෝණුත්තර රහතන් වහන්සේ අතින් ධාතු කරඬුව ගෙන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා රන් කරඬුවේ එය බහා මැණික් පළගෙහි තැබුවේය. මහා බ්‍රහ්මරාජයා සුදු සේසතක් එයට ඉහළින් දරා සිටියේ ය. සුයාම නම් දිව්‍ය පුත්‍රයා මැණික් තල්වැට දරා සිටියේ ය. ශක්‍ර දේවේන්ද්‍රයා සුවඳ පැන් පිරවූ විජයුත්තර නම් ශංඛය දරා සිටියේ ය. සතර වරම් දෙව් රජ මහා දරුවෝ රන් වන් කඩු අතැතිව සිටගෙන සිටියාහු ය. අනේක දිව්‍ය දිව්‍යාංගනාවෝ මාලාදාමයෙන් සුසැදි අත් ඇතිව ධාතු පූජා කරන්න ට සිට ගත්තාහු ය. අටවිසි යක් සෙනෙවියෝ හාත්පස රැකවල්ලා සිටියාහු ය. පංචසිඛ නම් දිව්‍ය පුත්‍රයාණෝ වීණා වාදනය කරමින් මිහිරි නද එක් කළාහු ය. තිම්බරු නම් දිව්‍ය පුත්‍රයා තූර්ය නාදයන් පවත්වමින් සිටියේ ය. මහාකාල නාරජ තෙමේ දෙවියන් හා එක්ව ස්තුති ගීතිකා පැවැත්වූවාහු ය. දේවතාවෝ සුවඳ මල්, සුවඳ දිය වැසි වස්සවන්නට පටන් ගත්හ.
එකල්හී මාරයාගෙන් සිදුවන බාධා මැඩලීම පිණිස මහා සෘද්ධිමත් ඉන්ද්‍රගුප්ත මහරහතක් වහන්සේ සක්වලටම සෙවන සැලසිය හැකි මහත් ලෝහමය ඡත්‍රයක් මැවූ සේක. ධාතුන් වහන්සේලා ඉදිරියේ පස් තැනක වැඩහුන් භික්ෂුන් වහන්සේලා සුත්‍ර සජ්ඣායනා කළ සේක. අතිශයින් ම සතුටින් යුතු දුටුගැමුණු නරේන්ද්‍ර රජතෙමේ තමන් හිස මත දරා ගෙන පැමිණි රන්කරඬුව ආසනයෙහි පිහිටුවා ධාතු පුජා කොට වැඳ වැටුනේ ය. ඒමොහොතේ රජතෙමේ මෙසේ පවසා සිටියේ ය. ’පින්වත් ස්වාමීන් වහන්ස මාගේ ස්වාමී වූ ඒභාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ධාතු පූජාව කරන්නා වූ මේ මහා පින් කමේදී, ස්වාමීනී, ’සර්වඥධාතුන් වහන්සේලාට පුද කරන්නට මේ අහසේ ලෙළ දෙන දිව්‍යමය ඡත්‍රයන් මට පෙනෙන්නේ ය, දිව්‍යමය පුෂ්පයන් මට පෙනෙන්නේ ය, දිව්‍යමය සුගන්ධයන් හාත්පස විහිදෙන්නේ ය, දිව්‍යමය තූර්ය නාදය අවට සිසාරා යන්නේ ය. එහෙත් ඒවා දරා සිටින්නුවූ දෙවියන්,බ්‍රහ්මයන් ඔබ වහන්සේලාට නම් දැකිය හැකි වන්නේ ය. පින්වත් ස්වාමීන් වහන්ස, මෙසේ දිව්‍යමය වූ ඡත්‍රය ද, මානුෂික ඡත්‍රය ද, විමුක්ති ඡත්‍රයද යන ත්‍රිඡත්‍රය දරා වැඩ සිටින්නා වූ ලෝකනාථයන් වහන්සේ වන තථාගත අරහත් සම්මා සම්බුදු වූ ශාස්තෘන් වහන්සේ උදෙසා මාගේ ලංකාරාජ්‍ය මම පූජා කරන්නෙමි. කියා සතුටු සිතින් යුතුව තුන් වතාවක් ම ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා ඉදිරියේ හෙතෙම බුදු සසුන උදෙසා ලංකාරාජ්‍ය පූජා කළේ ය.
අනතුරුව දෙවිමිනිස් පිරිවරා ගත් රජතුමා ධාතු පූජා පවත්වමින් යලිත් ධාතු කරඬුව හිසින් ගෙන භික්ෂු සංඝයා සමග මහා සෑය ප්‍රදක්ෂිණා කරන්නේ නැගෙනහිර දිශාවෙන් ධාතු ගර්භයට බැස්සේය. ලක්ෂ ගණන් රහතන් වහන්සේලා බුදු ගුණ කියමින් දෑත් බැඳ වන්දනා කරමින් ස්ථුපය හාත්පස වැඩ සිටි සේක. ධාතු ගර්භයට බැස ප්‍රිතියෙන් පිනා ගිය නරේන්ද්‍ර තෙමේ එහි තැන්පත් කරන ලද යහනෙහි තැන්පත් කරන්නෙමි යි සිතූ කල්හී සෘද්ධි බලයෙන් ධාතු කරඬුව අහස් කුසට පැන නැංගේ ය.
ඉක්බිති ධාතු කරඬුව සෘද්ධි බලයෙන් විවෘත විය. ධාතුන් වහන්සේලා එළියට වැඩම කළ සේක. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සෝභහාන වූ පරම සුන්දර වූ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රීශරීරය ජීවමාන ආකාරයෙන් පෙනෙන්නට පටන් ගත්තේ ය. ගන්ධබ්බ වෘක්ෂ මූලයේ දී දක්වන ලද්දා වූ යමක මහා ප්‍රාතිහාර්ය පරිද්දෙන් අපගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි ඒ ධාතුන්ගෙන් නිර්මිත ශ්‍රී සම්බුද්ධ ශරීරයෙන් එක මොහොතේම සියුම් ගිනි දැල් ද, සියුම් ජලධාරා ද නික්මෙන්නට පටන් ගත්තාහු ය.
මේ විශ්මයජනක ප්‍රාතිහාර්ය දර්ශනයෙන් ප්‍රසන්නව එකග වූ සිත් ඇති කෝටි ගණන් දිව්‍ය මනුෂ්‍යයෝ මාර්ගඵලප්‍රාප්ත වුවාහුය. ඉන් පසු ඒ ධාතුන් වහන්සේලා බුද්ධ වේශය අත්හැර කරඬුවේ පිහිටි සේක. කරඬුව එයින් පහළට බැස රජුගේ සිරසෙහි පිහිටියේය. නරේන්ද්‍ර තෙමේ ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් සමග එක්ව නාටිකාංගනාවන්ගේ පූජෝපහාරයන් මැද එම ධාතු කරඬුව යහන මත තබා රන් පළගේ තැන්පත් කොට සුවඳ දියෙන් දෑත් සෝදා යළි කරඬුව විවෘත කළේය. ඒධාතුන් වහන්සේලා මත තම දෑත තැබුවේ ය.
එකල්හී දුටුගැමුණු රජතුමා මේ අයුරින් අධිෂ්ඨානයක් කළේ ය. ඒකාන්තයෙන්ම මෙම ධාතුන් වහන්සේලා ඒසර්වඥයන් වහන්සේ ගේ ම ශාරීරික කොටස් වන සේක. ඒකාන්තයෙන් ම මේ ධාතුන් වහන්සේලා ලෝක සත්වයාගේ හිත සුව පිණිස වැඩ සිටින සේක. එහෙයින් මේ ධාතුන් වහන්සේලා මේ මහාර්ඝ වූ සයනය මත සර්වඥයන් වහන්සේ පිරිනිවන් පා වදාළ දිනයෙහි සැතපී සිටි පරිද්දෙන් වැඩ සිටිනා සේක්වා යැයි කියා යහන මත ධාතූන් වහන්සේලා තැන්පත් කළේය. පිරිනිවන් පා වදාරණ ලද භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ සැතපෙන ඉරියව්වේ හැඩයට ධාතුන් වහන්සේලා සෘද්ධි බලයෙන් තැන්පත් වූ සේක. මහා පෘථීවිතොමෝ කම්පා වී ගියා ය. අනේකවිද වූ අද්භූතජනක ප්‍රාතිහාර්යෝ හාත්පසින් දිස්වුවාහු ය.
පහන් සිතැති රජතෙමේ රාජ සේසතින් ද ධාතුන් වහන්සේලා මට පූජා පැවැත්වුයේ ය. ලංකාරාජ්‍යයෙන් සත් දවසක් පුජා පැවැත්වූයේ ය. රජුන්ගේ සියළු රාජාභරණ ධාතුන් වහන්සේලාට පිදුවේ ය. අමාත්‍යවරුද, නාටිකාංගනාවෝ ද, පිරිවර ජනයා ද, දේවතාවෝ ද තම ආභරණයන්ගෙන් ධාතුන් වහන්සේලාට පුජා පැවැත්වුවාහු ය. භික්ෂුන් වහන්සේලා රැය පහන් වන තුරු සූත්‍ර සජ්ඣායනා කරමින් වැඩ සිටියාහු ය. සියළු ජනතාවට ම සත්දින මුළුල්ලේ ධාතු පුජා කරන්නට නුවර පුරා අඬ ඛෙර ඇස්සවුයේ ය.
ලංකාද්වීපවාසීහු මනුෂයන් අතරින් යමෙක් සර්වඥයන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා දැක බලා වන්දනා කරන්නට කැමැත්තාහු නම් ඔවුහු වහා අවුත් ධාතුන් වහන්සේලා දැක වන්දනා කරත්වායැයි විධාන කරන ලද්දේය.
සත් දවසක් පුරා කරන ලද ධාතු පූජාවෙන් සහ ඒසඳහා වැඩම කොට වදාළ සංඝයා උදෙසා කරන ලද සංඝෝපස්ථානයෙන් ප්‍රමුදිත වූ දුටුගැමුණු මහරජතුමා භික්ෂු සංඝයා වෙත පැමිණ සාදරයෙන් වන්දනා කොට මෙසේ පවසා සිටියේ ය.
’පින්වත් ස්වාමීන් වහන්ස, මා විසින් ධාතු ගර්භයෙහි සියළු කටයුතු සම්පුර්ණ කරන ලද්දේ ය. ධාතු ගර්භය වැසීම පිණිස නුඹ වහන්සේලා දැන් කටයුතු කරන සේක්වා.
එකල්හී සෘද්ධිමත් සාමණේරයන් වහන්සේලා දෙනමක් විසින් උතුරුකුරු දිවයිනෙන් ගෙනෙන ලද මේඝවර්ණ පාෂාණයන්ගෙන් එම ධාතු ගර්භය වසන ලද්දේ ය. ඒමොහොතේ එහි වැඩ සිටි ලක්ෂ සංඛ්‍යාත රහතන්වහන්සේලා මෙම අධිෂ්ඨානය කළ සේක. ’අපගේ ශාස්තෘන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා උදෙසා පුජා කරන ලද මෙම සුගන්ධ පුෂ්පයෝ නො මැලවෙත්වා. මෙම සුවඳ මැටි නොවේලෙත්වා. හාත්පස ආලෝකවත් කරන්නා වූ මෙම ප්‍රදීපයෝ නොනිමෙත්වා. මෙහි පුජා භාණ්ඩයෝ ඒ අයුරින් පවතිත්වා. මෙම මේඝවර්ණ පාෂාණයෝ එකිනෙකට සිදුරු නැතිව මැනැවින් ගැලපෙත්වා’ මෙම අධිෂ්ඨානය කොට අවසන් වනවාත් සමග ලංකාද්විපය නම් වූ මාතාව ගේ හදවත වන් ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන් වහන්සේ ගේ ධාතු පූජෝස්තවය නිමාවට පත් වූයේ ය.

ද්‍රව්‍ය

      

පුරාණ ග්‍රන්ථ වලට අනුව,අනුරාධපුර රාජධානියට,
  • යොදුනක් (දුර මනින මිම්මකි.) උතුරු දෙසින් පිහිටි ගම්භීර නදියේ ඉවුරෙන් ගත් මැටි වලින් සෑය ඉදිකිරීම සඳහා ගඩොල් තනන ලදී.
  • යොදුන් තුනක් ගිණිකොන දෙසින් වූ අවුරුවිනී ග්‍රාමයෙන් රන් කැටි ලබාගන්නා ලදී.
  • යොදුන් හතක් නැගෙනහිර දෙසින් වූ තම්බපින්න ග්‍රාමයෙන් තඹ ලබාගන්නා ලදී.
  • යොදුන් සතරක් ගිණිකොන දෙසින් පිහිටි සමන්වැව ග්‍රාමයෙන් මැණික් ගෙන්වන ලදී.
  • යොදුන් අටක් දකුණු දෙසින් පිහිටි රිදී නැමැති ගල් ගුහාවෙන් රිදී ලබාගන්නා ලදී.
  • යොදුන් පහක් බටහිර දෙසින් පිහිටි උරුවෙල් නම් කුඩා නගරයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ වූ මුතු සහ පබලූ ගෙන්වන ලදී.
  • යොදුන් සතරක් වයඹ දෙසින් වූ පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍යය සතරක් ගෙන්වන ලදී.


පසළොස්වක පොහොය දිනය

දුටුගැමුණු රජතුමා විසින් මැයි මස යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දින, විශාඛා නක්ෂත්‍ර මණ්ඩලය යටතේ ස්ථූපයේ වැඩ කටයුතු අරඹන ලදී. වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධාගමට අනුව ඉතා පූජනීය පසළොස්වක පොහොය දිනයක් ලෙස සැලකේ.ඒ මන්ද යත්,
  • සුමේධ තවුසා දීපංකර බුදුරජාණන් වහන්සේ හමුවේ, ඒකාන්ත ලෙසම බුදුවන බවට නියත විවරණ ලැබීම.
  • මෛත්‍රී බෝධිසත්ව ගෞතමයන් වහන්සේ (බෝධිසත්ව ගෞතමයන් වහන්සේගේ පෙර ආත්ම භාවයකි. )තුසිත දිව්‍ය ලෝකයේ සිට මනුෂ්‍ය ලෝකයේ ප්‍රතිසන්ධිය ලැබීම.
  • බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයට වැඩම කිරීම.
  • බුදුරජාණන් වහන්සේ ලංකාවට තෙවරක් වැඩම කිරීම.
  • සම්බුද්ධ පරිණිර්වානය.
  • විජය කුමාරයාගේ ලංකාප්‍රාප්තිය.
  • දේවානම්පියතිස්ස රජතුමාගේ රාජාභිෂේකය යන මංගල කරුණු වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක සිදුවූ නිසාය.

 

අඩිතාලම

එක් පුන් පොහෝදිනයක, දුටුගැමුණු රජු, දේවානම්පියතිස්ස රජ විසින් ස්ථාපනය කළ "අභිලිවිත්" ශිලා ලිපිය ඉවත් කරන ලදී.
  • භූමිය සමතලා කරන ලදී.
  • එය රියන් හතක ගැඹුරට සාරන ලදී.
  • එහි යුධ භටයන් ලවා වක්‍රාකාර ගල් අතුරන ලදී.
  • ගල් මිටියෙන් කඩන ලදී.
  • ඉන්පසු එය ඇතුන් ලවා පාගවන ලදී.
  • එම ගල් ස්ථරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, රළු බදාමය මත තිරුවාණද,තිරුවාණ මත යකඩ ජාලයක්ද, යකඩ ජාලය මත සුවඳැති මැටිද,සුවඳැති මැට්ට මත සුදු පාෂාණද, සුදු පාෂාණ මත සෙල් පිලිමිණිද, ඒ මත ගල් පුවරුද අතුරවන ලදී.
  • ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදම් මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල් පුවරු ඒ මත අතුරුවා, ඒ මත අඟල් අටක ඝනකම් ඇති ලෝකඩ පත් අතුරවන ලදී.
  • එම ලෝකඩ පත් මත ආසනියම් හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරවා ඒ මත අඟල් හතරක් ඝනැති රිදී පත් තැන්පත් කරවන ලදී.
රජු මෙසේ මේ මහා සෑයේ අඩිතාලම සාදවා නිමකර, අත්තිවාරම් ගල ඇසළ පුර පසළොස්වක පොහෝ දින ස්ථාපනය කිරීමට කටයුතු පිළියෙල කරන ලදී. ඉන්පසු ඔහු අනුරාධපුර නගරය සහ රුවන්වැලි සෑ මළුව දිව්‍යමය පුරවරයක් සේ සරසවන ලදී. මේ වෙනුවෙන් ඉන්දියාවෙන් අනූහය කෝටියක් රහතුන් වහන්සේලා වැඩම කළහ. ඇසළ පුරපසළොස්වක පොහෝ දින, උත්තරසීහ තාරකා මණ්ඩලය යටතේ මහා සෑයේ අත්තිවාරම් ගල ස්ථාපනය කර "මා මේ ස්ථූපය වෙනුවෙන් කරනා ක්‍රියාවන් සාර්ථකව නිම කිරීමට හැකිවේවා!!.එවිට බුද්ධරක්ඛිත, ධම්මරක්ඛිත, සංඝ රක්ඛිත හා ආනන්ද රහතුන් වහන්සේලා මහා සෑ මලුවේ සතර දිශාවෙන් නැගීසිටීවා"කියා අධිෂ්ඨාන කළේය.ඔහු අධිෂ්ඨාන කල පරිදිම පූජ්‍ය සිද්ධත්ත, මායිගල, පදුම, සීවලී, චන්දගුත්ත, ඉන්දගුත්ත, සූරියගුත්ත, සිත්තසේන, ජයසේන හා අකල රහතුන් වහන්සේලා නැගෙනහිර දෙස බලා උත්සව අවස්ථාවේ දොරටුව අසළ තිබූ කොතළය ඉදිරිපිට සිටගත්හ.නන්දිසේන, සුමනා දේවියගේ පුත් සුපටින්හිත හා උත්සව මංගල්‍යය සඳහා පත්කෙරුණු ඇමතිවරයා, ධාතු මන්දිරය වටා සක්මන් කර මහා සෑයේ වක්‍රාකාර සීමාව මැනීම සඳහා රිදීයෙන් තැනූ යශ්ටියක් ගෙනෙන ලදී.ඇමතිවරයා මේ අයුරින් ධාතු මන්දිරය වටා ඉතා විශාල පරිමාණයක් මනිමින් යනු දැක සිද්ධත්ත රහත් තෙරුන් ඔහුට මධ්‍යම ප්‍රමාණයෙන් මනින ලෙස උපදෙස් දුන්හ. සිද්ධත්ත තෙරුන්ගේ, ඇමතිවරයාගේ හා ඔහුගේ දෙමාපියන්ගේ නම් ඇසීමෙන් දුටුගැමුණු රජු "ස්ථූපයේ වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේ" යැයි සිතා සතුටට පත් විය. අනතුරුව ඔහු විශාල රන් කළ අටක් හා රිදී කළ අටක් මහා සෑය මධ්‍යයේ ස්ථාපිත කර ඒ විශාල දිය කළ වටා පුන්කළස් එකසිය අටක් තැන්පත් කළේය.මේ අයුරින් ඔහු රත්‍රන් ගඩොල් අටක් අට කොනේ තබා තැන්පත් කර ඒ වටා රිදී ගඩොල් එකසිය අට බැගින් තැන්පත් කළේය.

ස්ථූපයට ආශීර්වාද කරන ලදී

සිත්තසේන රහතන් වහන්සේ මහා සෑය වටා ඇඳ තිබූ සීමා රේඛාවේ නැගෙනහිර ප්‍රදේශයේ සුවඳැති ලාටු පිඩක් තැන්පත් කළේය.ජයසේන රහතන් වහන්සේ උත්තරසීහ සහ සුපටින්හිත තාරකා මණ්ඩලය යටතේ ඒ මත පිරිත් පැන් ඉසින විට උත්සව මංගල්‍යය භාර අමාත්‍යවරයා ඉසින ලද පිරිත් පැන් මත රන් ගඩොල් සහ අධික ලෙස ධනය වැයකොට කරන ලද පූජාවන් තැන්පත් කළේය.ජනප්‍රවාදයේ සඳහන් පරිදි මේ අවස්ථාවේදී දෙලක්ෂ හැත්තෑදහසක් යොදුන් වූ දෙරණ තලය ගිගුම් දෙමින් කම්පා විය.
ඔහු ඔහුගේ පුතුන් ලවා මේ ආකාරයෙන් මහා ස්ථූපයේ අනෙකුත් දිසා සතෙහිද රන් ගඩොල් තැන්පත් කරවන ලදී.ඉන් පසුව මළුවේ සතර දිසාවේ වැඩ සිටි රහතන් වහන්සේලාට පිරිකරාදිය පූජා කළ දුටුගැමුණු රජතුමා ඇතුළු ජනතාව පියදස්සී මහ රහතන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා අසුන් ගත්හ.එම ධර්මය ශ්‍රවණය කිරීමෙන් හතළිස්දහසක් පිරිස අරහත් භාවයට පත් විය.හතළිස්දහසක් පිරිස සෝවාන් ඵලයට පත් විය.දහසක් පිරිස සකෘදාගාමී තත්වයටත් තවත් දහසක පිරිසක් අනාගාමී තත්වයටත් පත් විය.

බුදුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රටවල් අටක නරපතියන් විසින් සෑම රටකටම ධාතූන් වහන්සේලා නැලි දෙක බැගින් ගෙනනොස් ස්ථූපවල නිදන් කරවා වන්දනාමාන කරන ලදී. රාමාගම ග්‍රාමයේ නිදන් කර තිබූ ධාතූන් වහන්සේලා සහිත නැලි දෙක බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව රුවන්වැලි මහා ස්ථූපයේ නිධාපිත කරන්නට නියම කෙරිනි. ඇසළ පුන් පොහෝ දින උත්තරාසීහ නැකතින් මහා ස්ථූපයේ ධාතු නිධානය කිරීමට නිල උත්සවයක් සංවිධානය කළ දුටුගැමුණු රජතුමා, පුන් පොහෝ දිනට පෙර දින සංඝ රත්නය මුණගැසී වැඳ නමස්කාර කොට, පසු දිනය ධාතු නිධාපිත කිරීමට සූදානම් කර ඇති බවට මතක් කරමින් ධාතූන් වහන්සේලා රැගෙන එන ලෙස ඉල්ලා සිටියේය.සංඝයා වහන්සේගේ විධානයෙන් පසුව සෝඋත්තර නම්වූ අධුනික රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් ධාතූන් වහන්සේලා රැගෙන වැඩම කළහ. ඉන් ඉක්බිති සංඝයා වහන්සේගෙන් ධාතූන් වහන්සේලා පිළිගත් දුටුගැමුණු රජතුමා, එය රත්‍රන් මංජුසාවක බහා තම හිස මතට ගෙන, අනේක විධ දක්ෂිණ හා උපහාරත්, දිව්‍ය සහ බ්‍රහ්මයන්ගේ ගරු බුහුමන් මධ්‍යයේ ස්වර්ණමය මණ්ඩපයෙන් පිටත් විය.ඔහු, තුන්වරක් ධාතු මැදිරිය වටා පැදකුණු කොට නැගෙනහිර දිශාවෙන් ඇතුල් වී උතුරු දෙසට මුහුණලා පිළියෙල කර තිබූ රිදී සයනයක ධාතු මංජුසාව තැන්පත් කළ විට බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් සිංහසෙ‍යාවෙන් බුදු පිළිරුවක් හටගෙන සියලුම ධාතූන් වහන්සේලා ඒ ප්‍රතිමාව තුල නිධන්ගත වූහ. ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා ස්ථූපයේ නිධන්ගත වීම සම්පූර්ණ වූ පසු, උත්තර සහ සුමන සාමණේරයන් වහන්සේලා විසින් පියනක් ලෙස පසුව පාවිච්චි කිරීම සඳහා කලින් සඟවා තිබූ ගල් ආවරණයකින් ධාතු ගර්භය වසා දමන ලදී.
"ධාතු ගර්භය භූමිකම්පාවකින් වුවද නොසෙල්වේවා ; එදින පූජා කළ පිච්ච මල් ආදී මල් වර්ග ගෞතම බුද්ධ ශාසනය අවසන් වන තුරු මැල නොවේවා;ගිතෙල් වලින් දල්වන ලද පහන් නොනිමේවා; සඳුන් සහ සුවඳ විලවුන් මිශ්‍ර කරන ලද පස් වියළී නොයේවා; ධාතු ගර්භයේ එකදු සීරීමක් වත් නොවේවා; පූජා කළ රත්‍රන් භාණ්ඩවල මල නොබැඳේවා" මේ සියලු ප්‍රාර්ථනා මෙම උත්සවයට වැඩම කර සිටි රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙන් සඵල විය.ඔවුන් "සතුරන්ට වත් මේ ධාතු ගර්භය දකින්නට පවා නොලැබේවායි" අධිෂ්ඨාන කළහ. තවද දුටුගැමුණු රජතුමාගේ නියෝගය පරිදි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇතුලත් රන් හා රිදී මංජුසාද තවත් බොහෝ වස්තූන්ද ධාතු ගර්භය මත නිදන් කෙරිණි.

මහා සෑය ඉදි කරවීය

අද්විතීය රුවන්වැලි මහා සෑය හතරැස් කොත් දහය දක්වා රහතුන් වහන්සේලාගේ ආරක්ෂක සූත්‍ර සඡ්ජායනා මධ්‍යයේ නිමවෙද්දී, විසි සතර වසරක් ලක්දිව පාලනය කළ දුටුගැමුණු රජු, ඔහු විසින් කරන ලද පින් ඇතුළත් පොත කියවා මහා සෑය දෙස බලා සිටියදී මියැදී දිව්‍ය පුත්‍රයකුව තුසිත දෙව්ලොව උපත ලද්දේය.ඔහුගේ සහෝදර සද්ධාතිස්ස රජතුමා සෑයේ ඉතිරි වැඩ කොටස නිමකර, මරණයෙන් පසු තුසිත දෙව්ලොව උපන්නේය.