සීගිරි බිතු සිතුවම්

5වන සියවසෙහි අග භාගයේ රජ කළ කාශ්‍යප රජු විසින් නිර්මාණය කරන ලද සීගිරිය එදා මෙන්ම අදත් පෙර අපර දෙදිග රසවතුන්ගේ සිත් සතන් අමන්දානන්දයට පත් කරමින් ලොව අටවන පුදුමය ලෙස විශ්ව සම්මාන දිනීමට සමත් වී ඇත. සීගිරියේ ශේෂව පවත්නා නටඹුන් අතර ඉතා වැදගත් ස්ථානයක් සීගිරි බිතු සිතුවම්වලට හිමි වේ. මෙම බිතු සිතුවම් ශ්‍රී ලංකාවේ මෙතෙක් ආරක්‍ෂා වී ඇති ආදිතම චිත්‍ර අතරට එක් වේ.

ඉතිහාසය

             

සීගිරි බිතු සිතුවම්වල දක්නට ඇති විශේෂත්වය නම් මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා සුකුමාල ලලනාවන්ගේ රූප පමණක් වීමත් ඒවා ඉඟටියෙන් ඉහළ නග්න රූප පමණක් වීමත්ය. මෙම චිත්‍ර ඇඳීමේදී දේශීය අමුද්‍රව්‍ය භාවිතා කොට ඇති අතර වර්ණ සකසා ගැනීමේදී වියළි කලාපයේ බහුලව දක්නට ඇති අමුද්‍රව්‍ය භාවිතා කර තිබේ. එනම්,ගොකටු කිරි, මකුළු මැටි, රණවරා ආදිය වේ. ලලනාරූප පින්තාරු කිරීමේදී ස්වභාව ධර්මයා අනුව දැක්වීමට ශිල්පියා උත්සාහ නොකර ඇති අතර වර්ණ මඟින් අඳුරු ආලෝකය ගෙන රූපවල ත්‍රිමාණත්වය මතු කිරීමට ශිල්පියාගේ තෙලිතුඩ සමත් වී තිබේ. එසේම ලලනාරූප ශරීර හැඩයන්ට අනුකූලව තෙලිතුඩ හසුරුවාලීම නිසා සීගිරි සිතුවම් ඈතට පෙනෙනුයේ වර්ණයෙන් අඹන ලද රූප ලෙසය. සාහිත්‍යයේ කල්පිතයන්ට එකඟව දක්වා ඇති අගින් සිහින් වූ ඇඟිලි,සිහිනිඟ,මස්පිඩු පිරුණු පුළුලුකුල,වට වූ පුන්පියයුරු,දෙතොල් සහ දෙකොන සිහින්ව ගිය දිගු ඇස් සීගිරි සිත්තමින් අලංකාර කර තිබේ.
ලක්දිව ලෞකික චිත්‍ර කලාව පිළිබඳ අධ්‍යනය කිරීමේදී සීගිරි චිත්‍ර ප්‍රධාන වේ.දැනට අපට සීගිරියෙන් හමුවනුයේ චිත්‍ර 22ක් වැනි සුළු ප්‍රමාණයකි.ක්‍රි.ව.8 වන ශතවර්ෂයේ දී ලියවී ඇති සීගිරි කුරුටු ගීයකට අනුව රන්වන් ලියන් 502කගේ චිත්‍ර පිළිබඳව සඳහන් වේ.ප්‍රධාන වශයෙන් සීගිරි චිත්‍ර බටහිර ගල් පර්වතයෙහි ඇඳ තිබෙන අතර ඊට අමතරව දැරණියගල ගුහාව, වතුර බක්කිගල ගුහාව,නයිපෙන ගුහාව(පරුමක ලෙන) යන ස්ථානවලින් ද සිතුවම් හමු වී තිබේ. මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා ලෙස සුකුමාල ලලනාවන්ගේ උඩුකය රූප සීගිරි ශිල්පීන් ඔවුන්ගේ චිත්‍ර සඳහා වස්තු විෂය කරගෙන ඇති අතර එකී නාරි රූප වළාකුළුවලින් නික්මෙන්නාසේ ඇඳ තිබේ. ඉගටියෙන් ඉහළ නග්නව සිටින රන්වන් ලියන්,තනපටක් බැඳ සිටින නිල්වන් ලියන් කැටුව සිටින අයුරින් දර්ශනය වන ජෝඩු සහ තනි අය වශයෙන් සීගිරි සිතුවම් නිර්මාණය වී ඇත.එමෙන්ම සීගිරි සිතුවම් කලාත්මක සෞන්දර්යය කාර්යයන් උදෙසාම නිර්මාණය වූවකි.
කාන්තා රූප වළාකුළුවලින් මතුවන්නියන් ලෙස උකුලෙන් යටි කොටස වළාකුළුවලට වැසී ඇත.මෙම වළාකුළු රන් පැහැතිය.හිරු බැස යන අවස්ථාවේ රතුපාට වළාකුළුවලින් මතුවන මෙම කාන්තාවන්ගේ පසුබිමේ කිසිවක් නොමැතිව හිස් අහස පමණක් තිබීම විශේෂයකි.මේ චිත්‍ර සහ සන්ධ්‍යාවේ සම්බන්‍ධය ගැන එක් කුරුටු ගීයක ද සඳහන් වේ. හිරු බසින විට හැකිලෙන නෙළුම් හා මහනෙල් මල් එය සන්ධ්‍යාවක් බව සනාථ කරයි. සීගිරි කතුන් අතර නිල්වනුවන් මෙන් ම රන්වනුවන් ද සිටිති.පරණවිතාන මහතා සඳහන් කරන්නේ රන්වනුවන් විජ්ජුලතාවන් ලෙසත්,නිල්වනුවන් මේඝ කුමරියන් ලෙසත්ය. සන්ධ්‍යා භාගයේ දී අප්සරාවන් ඉදිරිපත් කරන රැඟුමන් සීගිරි චිත්‍රවලින් ඉදිරිපත් කෙරේ.ඇතැම් කාන්තාවෝ මල් පුබුදුවති. තවත් සමහරෙක් ඒ මල් වට්ටිවලට එකතු කරති.පුබුදුවන ලද මල් බිමට දමන කාන්තාවෝ ද වෙති.තවත් කාන්තාවන් මල් දෙස බලාසිටී.මෙම රැඟුමට සංගීත භාණ්ඩ උපයෝගී කරගෙන තිබේ. ඒ බව කුරුටු ගී වල සඳහන් වේ.එනම්,වීණාවක් අතින් ගත් තැනැත්තියක් හා චිත්‍ර ලෙනේ දකුණුපස මහලු කාන්තාවක් තාලම්පට වැනි උපකරණයක් වයමින් සිටීමයි.
මල්වල ඇති මෘදු මොළොක්බව,සුන්දරත්වය හා සුවඳ සමඟ කාන්තාවගේ ඇති සම්බන්‍ධතාවයත් සංගීත රාවයට අනුව සිය අත්වලින් මල් පිළිබඳ ව කටයුත්තක් කරමින් රැඟුමක් ඉදිරිපත් කරන බවක් මෙම සීගිරි චිත්‍රවලින් පැහැදිලි වේ.












භාවිතා කර ඇති ශිල්පීය මූලධර්ම

                                

චිත්‍ර ශිල්පීය මූලධර්ම හයක් පැරණි යුගයේ භාවිතා විය. එනම්,ප්‍රමාණ,භාව,රූපභේද,ලාවන්‍යයෝජන,වර්ණකාංග හා සදෘශ්‍යකරණ යනුවෙනි.මෙම මූලධර්මයන්ට අනුකූලව සීගිරි චිත්‍ර නිර්මාණය කර ඇත. සීගිරි කතුන්ගේ පුන් පියයුරු,සිහිනිඟ,නිලුපුල් ඇස්,දිගටි මුහුණු,තඹවන් තොල් ආදී අංගයන් වර්ණනා කර ඇති ආකාරය අනුව පෙනීයන්නේ මෙම ළඳුන් නව යෞවනියන් බවයි.සීගිරි චිත්‍ර නිර්මාණයේ දී කාන්තා ශරීරයේ ව්‍යවච්ජේද විද්‍යාත්මක වැදගත්කම ද සැලකිල්ලට ගෙන ඇත.සිරුර නැමෙන විට උදරයේ ඇතිවන රැළි ඉතා පැහැදිලිව දක්වා තිබේ.මෙවැනි රූප මෙම චිත්‍රවල තාත්විකත්වය ආරක්‍ෂා කිරීමට ඉවහල් වී තිබේ.

  • ඉරියව්: දැනට ශේෂව ඇති කාන්තා රූප සියල්ලෙහි ම හිටි ඉරියව් දැක්වේ.

  • ප්‍රමාණ: සීගිරි සිතුවම්වල උඩුකය පමණක් දර්ශනය වන නිසා ඇඳ ඇති ප්‍රමාණ කිව නොහැකි වුව ද අෂ්ටතාල ක්‍රමය අනුගමනය කර තිබේ.

  • භාව: චිත්‍රයකින් හෝ මූර්තියකින් භාව ප්‍රකාශ වනවා නම් එය සජීවීව පෙනේ.සීගිරි චිත්‍ර භාවයන්ගෙන් අනූනය.මේ නිසා සීගිරි කුරුටු ගී ලියූවෝ අප්සරාවන්ගේ භාවයන්ගෙන් කුල්මත් වී තම සිතැඟියාවන් ලියූහ.භාව ප්‍රකාශන අතින් ප්‍රධාන තැන මුහුණට ලැබෙයි.

  • ලාවන්‍යයෝජන: ලාවන්‍යයෝජන යනු,චිත්‍රයකට සුන්දරත්වය එක් කිරීමයි.ශාරීරික සුන්දරත්වය ඔපවත් වනුයේ උචිත ලෙස අඟ පසඟ උචිත වර්ණ යොදා දැක්වීමෙනි. ආලෝකය අවශ්‍ය තැනට ආලෝකය ද අඳුර අවශ්‍ය තැනට අඳුර ද තිබිය යුතුය.සීගිරි චිත්‍රවල ලාවන්‍යයෝජන මැනවින් දැකිය හැකිය.එය කාන්තාවන්ගේ සුන්දරත්වය කැපී පෙනීමට හේතු වී තිබේ.

  • වර්ණකාංග: එනම්,චිත්‍ර ඇඳීමේ දී සායම් මිශ්‍ර තෙලිතුඩ හැසිරවීමේ ක්‍රමයයි.සීගිරි චිත්‍ර ඇඳීමේ දී ගුරුපාට සායමකින් සැකිල්ල ඇඳ ඊට පසු ඒ ඒ තැනට උචිත සායම්වලින් සම්පූර්ණ කර තිබේ.එමෙන් ම නාරිදේහයේ ලාලිත්‍යයට අනුකූලව තෙලිතුඩ ගමන් කරමින් මෙම චිත්‍ර ඇඳ තිබේ.සීගිරි චිත්‍ර වියළි බදාම තලයක් මත නිර්මාණය කිරීම නිසා "ටෙම්පරා"ගණයට අයත් වේ.
ඉතා මෑතක දී පුද්ගලයකුගේ තීන්ත පහරකින් සීගිරි සිතුවම් විනාශ වූ පසු එම චිත්‍ර නැවත ප්‍රකෘති තත්ත්වයට පත්කරන ලද්දේ ඉතාලි ජාතික ආචාර්ය ලුසියානෝ මරන්සි මහතා විසිනි.

සීගිරි චිත්‍ර පිළිබඳ ඉදිරිපත් වී ඇති මත

                                                          

01.එච්.සී.පී.බෙල් මහතාගේ මතය:
මෙම චිත්‍ර ලෙන්වලින් දැක්වෙන්නේ රන්වන් කාන්තාවන් කාශ්‍යප රජුගේ අන්තඃපුර ස්ත්‍රීන් බවත් නිල්වන් කාන්තාවන් ඔවුන්ගේ සේවිකාවන් බවත් ය.ළඳුන්ගේ අත මල් හා මල් බඳුන් ඇති හෙයින් ඔවුන් සීගිරිය ආසන්නයේ ඇති පිදුරංගල විහාරය වන්දනයට යන බව කියයි. වින්ස්ටන් ස්මිත් මහතා ද මෙම මතය අනුමත කර ඇත.

02.ආනන්ද කුමාරස්වාමිගේ මතය:
සීගිරි චිත්‍රවලින් උඩුකය පමණක් දැක්වෙන හෙයින් මෙන් ම, වළාකුළුවලින් මතු වී එන ස්වරූපයක් නිර්මාණය කොට ඇති බැවින් ඔවුන් සීගිරි අන්තඃපුර කාන්තාවන් නොවන බවත් දිව්‍ය අප්සරාවන් ස්වකීය සේවිකාවන් සමඟ සීගිරි ගල මුදුනට පැමිණ මල්වැසි වැස්සවීම සිදුකරන බවයි.

03.නන්දදේව විජේසේකර මහතාගේ මතය:
"රජුගෙ ඇතවුරෙන් අපි නොයමුයි හඟිමින් ඔවුහු සිටිති."යන කැටපත් පවුරෙහි ඇති කුරුටු ගීයකට අනුව ස්වකීය වල්ලභයා වූ කාශ්‍යප රජුගේ වියෝවෙන් ශෝකයට පත්වන ඔහුගේ අන්තඃපුර කතුන් නිර්මාණය කෙරෙන බවයි.

04.මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මතය:
මෙම චිත්‍රවලින් දැක්වෙන්නේ දිය කෙළියක් බව ඔහු කියයි.

05.මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතය:
රන්වන් කාන්තාවන් තුළින් විජ්ජුලතා හෙවත් විදුලියත්,නිල්වන් කාන්තාවන් තුළින් මේඝලතා හෙවත් වළාකුළුත් නිරූපණය කෙරෙන බව ඔහුගේ මතයයි

06.සිරි ගුනසිංහගේ මතය:
2010 වසරේ පළ කෙරුණු Sigiriya: Kassapa’s Homage to Beauty නමැති කෘතිය තුළ කලා ඉතිහාසඥ සිරි ගුනසිංහ තර්ක කළේ සීගිරිය හුදෙක් සෞන්දර්යය වින්දනය කිරීම සඳහා වූ විවේකස්ථානයක් වශයෙන් කාශ්‍යප රජු විසින් ඉදි කරනු ලැබූ බව යි. ඒ අනුව සීගිරි සිතුවම්වල දැක්වෙන කාන්තාවන් හුදෙක් සුන්දරත්වය අරමුණු කරගෙන සිතුවමට නැඟුණු සාමාන්‍ය ස්ත්‍රී රූප බවත් ඒවායේ වෙනත් සංකේතාත්මක හෝ ආගමික අර්ථයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් තර්ක කරයි. 


සීගිරියේ වාස්තු විද්‍යාව

සීගීරියේ වාස්තු විද්‍යාව ගැන සලකා බැලීමේදී එය අරමුණු කිහිපයක් ඔස්සේ හසුරවනු ලැබු ආකාරයක් දක්නටලැබේ.මෙහිදි ආරක්ෂාව පිළිබදව වඩාත් සැලකිළිමත් වු බව පෙනේ.එසේම කලාත්මක බව හා එහි පිහිටිම පිළිබදවද උනන්දු වී තිබේ.මහාවංශය සදහන් කරන ආකාරයට කාශ්‍යප රජු සීගිරිය සිය රාජධානිය කර ගත් පසුව නොයෙක් කර්මාන්තාදිය කොට එය සුදුසු ආකාරයට සකස් කර ගත් බව කියැවේ.
_________________________________________________________

වාස්තු විද්‍යාවේ නිර්මාණකරණය

1.නාගරික සැළසුම්කරණය

                            සීගීරියේ වාස්තු විද්‍යාවේ කැපී පෙනෙන අංගය වන්නේ එහි නාගරික සැලසුම්කරණයයි. ලාංකීය පැරණි නගර නිර්මාණ සැලසුම් අතර විශිෂ්ඨතම නිර්මාණයක් ලෙස සිගිරි නගර සැලසුම හදූන්වා දිය හැකිය. ලාංකිය වෙනත් නාගරික සැලසුම්වලින් යම් තරමකට හෝ සිගිරිය වෙනස් වන්නේ හුදෙක් එය ජනතාවගේ පාලන මධ්‍යස්ථානයක්ම වශයෙන් තිබු තැනැක් පමනක්ම නොව සෞන්දර්යාත්මක නිර්මාණයක්ද වු බැවිනි. පුරාණ නගරයක් සැලසුම් කිරීමේදී ආරක්ෂාව පිළිබදව සැළකිලිමත් වු බව පෙනේ.රාජ මාළිගාව පිහිටියේ නාගරික සංකීර්ණයේ මධ්‍යයේය. සිගිරිය ගිරි දූර්ගයක් කේන්ද්‍ර කොට ගත් බලකාටුවකි. මෙම ස්ථානය දූර්ගයක් වු පමනින්ම ආරක්ෂාව ප්‍රමාණවත් වෙතැයි නොසිතා ඊට තවත් ආරක්ෂක විධි විධාන සම්පාදනය කළ බව පෙනේ. සිගිරියේ සැම නිර්මාණයක්ම සැලසුම්වන්නේ උතුරු දකුණු දිශානුගතව පිහිටි භුමියෙන් අඩි 600ක් තරම් උසවු හුදකලා පර්වතයක් කෙන්ද්‍ර කර ගනිමිනි. එ අනුව නගරයද සැලසුම් කර ඇත්තේ උතුරේ සිට දකුණටත්,බටහිර සිට නැගෙනහිරටත් පර්වතය මැදින් එකිනෙක කැපි යන පරිදි සකස් කරන ලද මධ්‍ය රේඛාවක් මත පිහිටා ගෙන මෙහි මුලික සැලසුම සකස් කර ඇත්තේ ප්‍රධාන පර්වතය සහ භුමියේ ස්වාභාවික පිහිටිමට අනුගතවන පරිද්දෙනි. එ අනුව නගරයේ ප්‍රධාන ප්‍රවේශය බස්නාහිර අර්ධයට හිමිවී ඇති අතර වැඩිම නිර්මාණ දායකත්වයක් දක්නට ලැබෙන්නේ එම භුමි ප්‍රදේශය මුල් කරගෙනයි. මේ නිසා සිගිරි සැලසුම වශයෙන් බටහිර-නැගෙනහිර දිශානුගත වු ආයත චතුරස්‍රකාර ස්වරැපයක් ගනි.

2.සිගිරියේ බිම් සැලසුම


 

3.නගර සැලසුම් කරනයේ වඩාත්කැපි පෙනෙන අංග
  • නගරය වටා ප්‍රාකාර සහ දිය අඟල් නිර්මාණය කිරිම
  • දොරටු නිර්මාණය
  • පාරිසරික සම්බන්ධතාවය
  • ලෙන් නිර්මාණය
  • ගල් භාවිතා කිරිමේ ස්වරැපය(කළු ගල්/හුණු ගල්/ගඩොල්)
 
4.නගරය වටා ප්‍රාකාර සහ දිය අගල් නිර්මාණය කිරිම.

සිගිරියේ දක්නට ලැබෙන නශ්ටාව‍ශේෂ අනුව ප්‍රධාන වශයෙන් දිය අගල් දෙකක් වු බව සොයා ගෙන තිබේ. ඉන් වඩාත් පළලින් යුතු දිය අගල පිටත දිය අගල වශයෙන් හැදින්වේ.මෙහි පිටතින් ඇති නොඋස් ප්‍රාකාරය පිටත ප්‍රාකාරය ලෙස නම් කර තිබේ. පිටත දිය අගලට ඇතුළතින් ඇති ගඩොලුමය ප්‍රාකාරය මැද පවුර යන නම්න් හදූන්වනු ලබන්නකි. මැද පවුරෙන් ඔබ්බට දක්නට ඇත්තේ සමතලා බිමකි. අද සිගිරි නගරයට පිවිසෙන මාර්ගය ලෙස මෙය භාවිතයට ගනි. මේ ප්‍රදේශයේ ඇතුළට වන්නට ඇතුළු දිය අගල පිහිටා ති‍‍බෙන අතර එය පටු එහෙත් ගැඹුරැ බවින් යුක්ත වුවකි. මේ දිය අගල අවසානයේම ඉතා ඉහලට උස් වු ඇතුළු ප්‍රාකාරය නිමවා ති‍බේ. පිටත පවුර සහ පිටත දිය අගල සැලසුමට ඇතුලත් කොට තිබුණද එහි නිර්මාණාත්මක හෝ වාස්තුවිද්‍යාත්මක ඉදිකිරිම් වල ස්වරැපය දූර්වලය. සමහර විට මෙය මඩ අගලක් වශයෙන් භාවිතා කරන්නට ඇත. එහෙත් මධ්‍ය ප්‍රාකාරයේද,ඇතුළු දිය අගල සහ ඇතුළු ප්‍රාකාරයේද ඉදිකිරිම් ස්වරැපය වඩාත් සිත් ගන්නා සුළුය. පිටත ප්‍රකාරය පස් වලින්ද, මධ්‍ය ප්‍රාකාරය ගඩොලින්ද, ඇතුළු ප්‍රාකාරය ගලින් බැද ඒ මත පස් පුරවා උස් කොට තැනිමෙන්ද නිර්මාණය කර ති‍බේ. සිගීරි පර්වත‍යේ සිට බටහිර ප්‍රාකාරවලට ඇති දූර මෙන් දෙගුණයක් දුරකට නැගෙනහිර ප්‍රාකාරය ඉදි කර තිබේ. එහෙත් මෙහි දක්නට ලැ‍බෙන නිර්මාණාත්මක ස්වරුපය බටහිර පැත්තේ ස්වරුපයට වඩා වෙනස්ය. නැගෙනහිර පැත්තේ ඇතුළු ප්‍රාකාරයද බටහිරට සමාන දූරකින් එහෙත් ඊට වඩා පටු සීමාවන් තුළ ඉදිකර තිබේ. පිටත ප්‍රාකාරය,බටහිර පිට ප්‍රාකාරයට සමානව එමෙන් දෙගුණයක් තරම් නැගෙනහිර දෙසට විහිදී තිබෙනු පෙනේ. එහෙත් මෙම ප්‍රාකාරය බැමි හෝ දිය අගල්වල අඛණ්ඩ ස්වරූපයක් දක්නට නොමැතිය. ඇතැම්විට මෙම ප්‍රාකාරය නිම කරමින් පැවති අවස්ථාවක් විය යුතුය.


 




5.දොරටු නිර්මාණය

              සීගිරි සංකීර්ණයේ සැලසුමට අනුව ඊට ප්‍රවිෂ්ඨ විම සදහා තනනු ලැබු නොයෙක් ආකාරයේ දොරටු රාශියක්ම සොයා ගෙන තිබේ. විශේෂයෙන්ම බටහිර ප්‍රවේශයේ වු දොරටු අතර බටහිර ඇතුල් දිය අගලින් ඇතුළුවන ස්ථානයේ ඇති දොරටුව ඉතා වැදගත් නිර්මාණයකි. ඉතා විසිතුරු මෙම දොරටුව සිගිරි සංකීර්ණයේ ප්‍රධානතම දොරටුව වුවාට සැක නැත. සීගිරියේ අනෙකුත් ප්‍රධාන දොරටු සැලසුම් කර ඇත්තේ පර්වතයට උතුරු හා දකුණු පැත්තෙනි.ඉන් උතුරු දොරටුව පිහිටියේ පිදූරංගල පර්වතය පැත්තට මුහුණලාය. සිගිරි සැලසුමේ දකුණු පසින් දක්නට ලැබෙන දකුණු දොරටුව උතුරු දොරටුවට සෑම අතන්ම සමානත්වයත්වයක් දක්වයි. මේ දොරටුව ද දිය අගල හරහා යන බැම්මකින් සම්බන්ධ කර තිබෙන අතර මෙම පැත්තේද දිය අගලේ මට්ටම් කිහිපයක් දක්නට ලැබේ. මේ සියලු දොරටුවලට වඩා සුවිශේෂී නිර්මාණය වූයේ සීගිරි ගල මුදුනට නැගීමට තිබූ එකම දොරටුව වන සිංහ දොරටුවයි. මේ සියල්ල දෙස බැලීමේදී පැහැදිලි වනුයේ සීගිරි සංකීර්ණය සැලසුම් කිරීමේදී විවිධ ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරමින් සහ ස්වභාවික නිර්මාණයද පාදක කර ගනිමින් සීගිරි සංකීර්ණය සඳහා මාවත් මෙන්ම දොරටු ද නිර්මාණයකර තිබූ ආකාරයයි.




 

6.පාරිසරික සම්බන්ධතාවය

              සීගිරියේ නගර සැලසුමේ වැදගත්ම අංගයක් වන්නේ ඊට පාරිසරික සම්බන්ධතාවයේ ඇති දායකත්වයයි. එය නගරයේ ආරක්ෂාව වෙනුවෙන් යොදා ගෙන ඇති ආකාරය කිසිදු පුරාණ නගරයක දක්නට නොලැබෙන ලක්ෂණයක් බැවිනුත් ස්වභාවයෙන්ම සිගිරි නගරයට ලැබුනු දායාදයක් වශයෙනුත් හැදින්විය හැකිය. එනම් සිගිරි පර්වතය ව‍ටා පිහිටා ඇති පර්වත සමුහයයි. ඉන් ප්‍රධාන වන්නේ සිගිරියට උතුරින් පිහිටි පිදූරංගල පර්වතයයි. දකුණින් පිහිටි මාපගලත්,පෙතංගල,දූවන්නාගල හා තම්මැන්නාගල වැනි ස්ථානත් සිගිරිය හා සෘඡු සම්බන්ධකම් දැක්වු ස්ථාන බව පෙනේ. මෙම ස්ථාන සිගිරි නගරයේ ආරක්ෂා කටයුතු සදහා දායක වු බව නොරහසකි. කදූ වළල්ලක් මැද පිහිටි මේ අපුරු නිර්මාණය පුරාණ සැලසුම්කරුවන්ගේත්,ඉංජිනේරුවන්ගේත් අවධානයට ලක් විමෙන් ආරක්ෂිත රාජධානියක්,සැලසුම් සහගත නගරයක් මෙන්ම අලංකාර රාජමාළිගා සංකීර්ණයක් බවටද පත් වී ඇත.

7.ලෙන් නිර්මාණය

                සිගිරියේ වාස්තු විද්‍යාත්මක නිරිමාණ අතර පැරණිම නිර්මාණයක් වන්නේ ලෙන් නිර්මාණය කිරිමයි. සිගිරියේ ඇති ලෙන් බොහාමයක්ම කටාරම් කො‍ටා සකස් කර ඇති ඒවාය. එසේම කටාරම් කොටන ලද එම ලෙන් දක්නට ලැබෙන්නේ බටහිර පාර්ශවයේ පමණි. නැගෙනහිර පැත්තේ ලෙන් දක්නට ලැබුනද ඒවා කටාරම් කොටා සකස් කරන ලස ඒවා බව නොපෙනේ.


 

 

8.ගල් භාවිතා කිරිමේ ස්වරුපය

ගල් භාවිතා කරමින් විවිධ නිර්මාණ ඉදිරිපත් කිරිම සීගිරි වාස්තු විද්‍යාවේ කැපි පෙනෙන ලක්ෂණයක් වේ. ගල් ගුහා වල කටාරම් කෙටිම ඉන් පැරණිතම අවස්ථා ලෙස හදූනා ගත හැක. එසේම ලක්දිව කොතැනක හෝ දක්නට නොලැ‍බෙන ආකාරයේ විශ්මය ජනක නිර්මාණ පවා සීගිරියේ දක්නට ලැ‍බෙනුයේ ශිලා භාවිතයේ දායකත්වයත් සමගය. මින් වඩාත්ම පුදූම එළවන සුළු නිර්මාණය වන්නේ සීගිරි පර්වතය වටා කොටන ලද මහා කටාරමය. සැබවින්ම එය සීගිරි නිර්මාණය තුල ලැබෙන විශ්මිත කාර්යය වන්නේය. බිමින් අඩි 500 ක් තරම් උසිනුත්,උඩින් අඩි 100ක් තරම් පහළිනුත් උතුරු හා බටහිර අර්ධය පුරා එක කෙලින් කපන ලද මේ කටාරමේ නිර්මානකරණය නම් කිසිසේත්ම විශ්වාස කල නොහැකි තරමට පුදූම එළවන සුළුය.




සීගිරි පුරවරයේ ඇති එකම කළු ගලක් හෝ නිර්මාණකරණයකින් තොරව ඉතිරි නොකරන්නට එකල ශිල්පීන් වගබලාගෙන තිබේ.පිහිටි ගල් ඇතුළට සාරා පොකුණු තැනීමද සීගිරියේ ගල් වැඩ අතර දැකිය හැකිය. එසේම වාස්තු විද්‍යාවේදි ගල් බහුලව භාවිතා කර ඇත්තේ දිය අගල් වල බැමි සදහාත්,මාලක සදහා බැමි නිර්මාණය කිරිම සදහාත්ය. කළු ගල් හැරුනු කොට සිගිරි නිර්මාණ විෂයෙහි වැඩිම දායකත්වයක් දක්වන්නේ හුණුගල්ය. වාස්තු විද්‍යාත්මක නිර්මාණ සදහා හුණුගල් පි‍ටතින් ගෙන ආ බව පෙනේ. පියගැට පේළි,ආසන,බොරදම්,පිළිම,මුරගල්,ජල මල්,කානු පද්ධති සහ ගොඩනැගිලිවල බිමටද හුණුගල් භාවිතා කර ඇති බව පෙනේ. සිගිරි වාස්තු විද්‍යාවේ කැපි පෙනෙන අමුද්‍රව්‍ය වන්නේ ගඩොල්ය. කුඩා පනා බැම්මක මහ පවුරක් දක්වාම වු සෑම තැනකම ගඩොලුමය ඉදි කිරිම් සහ නිර්මාණ රැසක් දැකිය හැකිවේ. පොකුණු නිර්මාණය ගොඩනැගිලි තැනීම, මාලක නිර්මාණය සහ පවුරු නිර්මාණය සඳහා මෙන්ම දොරටු නිර්මාණය සඳහා ද ගඩොල් භාවිතා කර තිබේ. සීගිරි ගල මුදුනේ වූ මාලිගය හා උද්‍යානය වෙනුවෙන් ගඩොල් ස ලක්ෂ ගණනක් ඉහළට ගෙන ගියේ කෙසේදැයි සිතීම පවා විශ්මයජනනකය. සීගිරි ගඩොල් නිර්මාණ අතර වඩාත් කැපී පෙනෙන අංග දෙකක් වේ. එනම් සීගිරි ගලේ බටහිර පැත්තේ ගල් ආනතියේ නිමවා ඇති කැටපත් පවුරත්, සිංහ පාද මළුව තුළ දැනට දෙපා පමණක් ඉතිරි වී ඇති දැවැන්ත සිංහ රූපයත්ය.දැව භාවිතය ද සීගිරියේ දී මහා පරිමාණයෙන් කර ඇති බවට ප්‍රමාණවත් තරම් සාධක හමුවේ. පර්වත මත ඉදිකළ බොහෝ ගොඩනැගිලි විවෘත මණ්ඩප වශයෙන් තිබු බව පැහැදිලි වන අතර, ඒ සඳහා දැව කණු භාවිතා කර තිබේ. එසේම සෑම ගොඩනැගිල්ලක්මඋළුසෙවිලි කොට තනා තිබේ. සාම්ප්‍රදායික පැතිලි උළු වන මේවා අතර මුදූන් උළු කැටද දක්නට ලැබේ. එසේම ගොඩනැගිලි අලංකාර කීරිම සදහා මැටියෙන් කල කුළුණු හිස් රාශියක්ම යොදා ගෙන තිබේ. අටපට්ටම් පදනමකින්ද අටපට්ටම් කුළුණු හිසකින්ද යුතු වු මේවා විසිතුරු මල්කමින් සහ ගිනිදළු මෝස්තර වලින් අලංකාර කර තිබේ.
________________________________________________________

උද්‍යාන සැලසුම්කරණය

                    
සීගිරියේ උද්‍යාන පිළිබදව සලකා බලන කල පැහැදිලි වනුයේ ලොව ඇති පැරණිතම උද්‍යානවලින් එකක් අතරට මෙයද අයත් වන බවයි. සීගිරි පර්වතයේ බටහිර අර්ධයේ දිය අගලින් සහ පවුරු වලින් වලින් වටවු තැනිතලා බිම්කඩ පුරා දක්නට ලැබෙන්නේ නොයෙන් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලින් යුතුව නිර්මාණය කර ඇති අලංකාර උද්‍යානයයි. විශේෂයෙන්ම ජල රැදවුම් වලට මුල්තැනක් දෙමින් ඉතා ක්‍රමානුකූලව සහ සැලසුම් සහගත අයුරින් නිර්මාණය කර තිබෙන මේ උද්‍යානය වු කලි පුරාණ දකුණු ආසියාවේ ඇති උද්‍යාන පිළිබඳව දක්නට ලැබෙන හොඳම නිදර්ශනය සේ සැලකේ.
සීගිරි ගල පාමුල පිහිටි මාලක උද්‍යානය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදේ.
  • ජල උද්‍යානය
  • ශිලා උද්‍යානය
  • මාලක උද්‍යානය
මෙම උද්‍යාන ක්‍රමවේද තුනම අනුගමනය කරමින් රජමාළිඟා උද්‍යානය නිම කර තිබේ.


___________________________________________________________________________________

ගොඩනැගිලි සැලසුම්කරණය

                             නාගරික සැලසුම් මෙන්ම සීගිරි නගරයේ ගොඩනැගිලි ඉදිකිරිමේ වාස්තු විද්‍යාවද ලාංකීය වාස්තු විද්‍යාවේ කැපි පෙනෙන ලක්ෂණ පෙන්වයි. ප්‍රධාන වශයෙන් විවිධ අමුද්‍රව්‍ය මාධ්‍යයන් ප්‍රයෝජනයට ගනිමින් මෙම නිර්මාණ කර තිබේ. දැනට දක්නට ලැබෙන අවශේෂවලට අනුව එම මාධ්‍යයන් වන්නේ ගල්,ගඩොලු,දැව සහ බදාමය. මින් වැඩි වශයෙන් දක්නට ලැබෙනනේ ගඩොලුමය නිර්මාණයන්ය.ගොඩනැගිලි සඳහාත් බොහෝ විට ගල් භාවිතා කර ඇති නමුත් ඒවායේ සම්පුර්ණත්වය සඳහා දායක වී ඇත්තේ ගඩොල් සහ දැවය.


 

සීගිරි ගීයෙහි භාෂා ලක්‍ෂණ


කැ‍ටපත් පවුර

 

 

 

 

 

හැඳින්වීම

ශ්‍රී ලංකාවේ මාත‍ලේ දිස්ත්‍රික්කයේ ඉනාමළු කෝරළයේ ‍වගපනහපල්ලේ සියපත්තුවේ පිහි‍ටි "සීගිරිය නම් වු මීටර් 180 ක් පමණ උස් වු පර්වත ශිඛරය වර්තමානයේ දෙස් විදෙස් පතල වු ඓතිහාසික කලාගාරයකි. මෙ‍ම කලාගාරයේ නිර්මාතෘ ක්‍රි:ව: 473-491 දක්වා ලක්දිව රජ කළ I වන කාශ්‍යප රජුයි. කාශ්‍යප රජුගේ කාලයෙන් පසු අභාවය‍ට යන මෙම රාජධානිය , පසු කාලීනව කලාකාමී පොදුජනතාවගේ, සෞන්දර්යාත්මක චින්තනය හෙළි පෙහෙළි කර ලූ ඓතිහාසික සිහිවටනයක් බවට ද පත් වෙයි. ඒ සීගිරි කැටපත් පවුරේ සටහන් වන "සීගිරි කුරුටු ගී" මඟිනි.

සීගිරි බිතුසිතුවම්

මෙම සීගිරි ගී බොහොමයකට වස්තු විෂය වූයේ "සීගිරි බිතුසිතුවම් "ය . සාහිත්‍ය අගයෙන් අනූන පද්‍ය බොහොමයක් සීගිරි කැටපත් පවුරෙන් හමු වේ. මෙම ගී බොහොමයක දැකිය හැක්කේ සීගිරි පැමිණිවුන් එහි වූ ලලනා රූ දැක තම සිත තුළ නිපන් අදහස කවියට නැගීමකි. මෙම සීගිරි බිතුසිතුවම් සම්ප්‍රදායික සිංහල කලා කෘතිවලට ආගන්තුක බව පැහැදිලි වන කරුණකි. එමෙන් ම මෙම සීගිරි ගීත ද සම්ප්‍රදායික සාහිත්‍ය සම්ප්‍රදායට ද අනුගත වූ බවක් නොපෙනේ.සීගිරි ගී බොහොමයක්ම ශෘංගාර රසය දනවයි. මෙම සීගිරි ගී කවීන් නිදහස් කාව්‍ය සම්ප්‍රදායක් අනුගමනය කළ අතර එබැවින් සීගිරි ගී නිර්මාණ හරහා අනුරාධපුර යුගයට අයත් ය‍ම් යම් සමාජිය ලක්‍ෂණ මෙන්ම අනුරාධපුර යුගයේ භාවිතා වු භාෂාවේ ඇතැම් භාෂාත්මක ලක්‍ෂණ පිළිබඳව වු තොරතුරු ද සීගිරි ගී අතුරින් හඳුනා ගත හැකි ය.
අනුරාධපුර යුගයයට අයත් සාහිත්‍ය හා භාෂාව පිළිබඳව තොරතුරු හෙළි කරන සීගිරි ගී මේ ‍අනුව වැදගත් වේ.මෙම භාෂා ලක්‍ෂණ පිළිබඳව ප්‍රථම වරට අ‍වධානය යොමු වන්නේ 1895-1905 තෙක් කාලය තුළ සීගිරිය තුළ පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු සිදු කළ ප්‍රථම පුරා විද්‍යා කොමසාරිස් වන "එච්. සී. පී. බෙල් " මහතාගේ කාලයේ දී ය. 1930 දී සීගිරි ගී කියවීම ඇරඹෙන අතර එහි පු‍රෝගාමියා වුයේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතායි. 1956 දී "Sigiri Graffiti " යනුවෙන් එතුමා විසින් කාණ්ඩ දෙකකින් පළ කරන ලද කෘතියේ ගී 685 ක් ඇතුලත් වේ.
සිංහල ප්‍රාකෘතයට පසු‍ව පහළ වුණු "පුරාතන සිංහලය " පිළිබඳ වටිනා තොරතුරු සමුදායක් ලබා ගත හැකි හොඳ මූලාශ්‍රයක් ලෙසින් ද "සීගිරි කුරුටු ගී " සමුච්චය , මහාචාර්ය ‍ජේ. බී. දිසානායක මහතා විසින් දක්වා ඇත. සීගිරි ගීවලින් මතු වන සිංහලය "සීගිරි සිංහලය" ලෙස වෙසෙසා හැඳින්විය යුතු බව ද එතුමා පවසයි. එසේ වන්නේ සීගිරි සිංහලයේ දක්නට ලැබෙන ඇතැම් ලක්‍ෂණ , තත්කාලීන වෙනත් ලේඛනවල දැකිය නොහැකි බැවිනි. සීගිරි ගීයෙහි හඳුනා ගත හැකි ලක්‍ෂණ කීපයක් ම මහාචාර්ය ජේ.බී.දිසානායක මහතා, "සිංහල අක්‍ෂර විචාරය " නැමැති කෘතියේ දක්වයි.
________________________________________________________

සීගිරි ගී වල වැදගත්කම

                    

සීගිරි ගී කිහිප ආකාරයකින් ම ලාංකික ඉතිහාසය තුළ වැදගත්කමක් උසුලයි. එනම්,

  • මෙරට පැවති සමෘද්ධිමත් හා උසස් සභ්‍යත්වයක් පැවති අනුරාධපුර යුගයට අයත් සම්භාව්‍ය සාහිත්‍ය හා භාෂාව පිළිබඳ තොරතුරු ලබා ගත හැකි මුලාශ්‍රයක් ලෙස සීගිරි ගී ‍වැදගත් වේ. පසුකාලීනව ඇති වන විවිධ වසංගත , සතුරු ආක්‍රමණ ආදිය නිසා මේ යුගයට අයත් බොහෝ සාහිත්‍ය ග්‍රන්ථ අභාවයට පත් වී ඇති බැවින් සිගිරි ගී අනුරාධපුර යුගයට අයත් වැදගත් සාහිත්‍ය මූලාශ්‍රයකි.

  • සීගිරි ගී බහු කතෘක මූලාශ්‍රයකි. එම ගී නිර්මාණය වන්නේ සීගිරිය නැරඹීමට පැමිණි පොදු ජනයා අතින් නිසා සීගිරි ගී මඟින් නිරූපනය වන්නේ ‍එකල පැවති පොදු ජන රුචිකත්වයයි.

  • මෙතෙක් වු ආගමික සාහිත්‍යයෙන් බැහැර වු කෘතියක් වීම. සම්භාව්‍ය සාහිත්‍ය තුළ දී වස්තු විෂය තීරණය වීමේ දී ආගමික බලපෑමක් තිබූ මුත් සීගිරි කාව්‍ය සම්ප්‍රදාය එම ආකෘතියෙන් බැහැර වූවකි.

 ________________________________________________________

 සීගිරි සිංහලය

              

සීගිරි ගී වඩා වැදගත‍් වනුයේ , එම ගී ලියූවන්ගෙන් වැඩි පිරිස එදා මෙරට වාසය කළ බහුතර පොදු ජනයා වීමයි. එසේ ම මෙම සීගිරි ගී තවත් අතකින් වැදගත් වනුයේ එතෙක් පැවති ආගමික සාහිත්‍යට ගැති නොවී කළ නිර්මාණ ලෙසයි. එසේ ම කැ‍ටපත් පවුර වැනි සීමිත ඉඩක සංක්‍ෂිප්තව කළ මේ ගී මුක්තක ගී ගණයට වැටේ. එය ද මෙහි විශේෂත්වයයකි. මෙහි දී සීගිරි සිංහලය හරහා මතු වන කරුණු කීපයක් හඳුනා ගත හැකිය. එනම්

  • එකල වු පොදු ජනයා භාවිතා කළ නම් , ග‍ම් මින් හඳුනා ගත හැක. මින් සමහරක් අල් අකුරකින් ද සමහරක් ස්වරයකින් ද අවසන් වේ.


 

උදාහරණ:
අල් අකුරකින් අවසන් වන නම්  : අග්බොය් , සලමෙය් , කිතල්
ස්වරයකින් අවසන් වන නම්  : කසබ , කිතල , අනුරා




  • උපමා රෑපක ආදි කාව්‍යාලංකාර බිහි කිරීමට සිංහල භාෂාව දක්වන සමර්ථතාව.
උදාහරණ:
ස්වස්ති, අග්බොයි මි ලීමි.
නිල් කට්රොළ මලෙකැ ඇවුණු වැ‍ට්කොළ මල සෙයි
සැන්‍දැගැ සිහි වෙන්නෙය් මහනෙල්වන හ‍ය් රන්වන හුන්. (334)


අග්බොයිමි ලීමි.
මහනෙල් මලක් ගැනැ සුරතත්නි මන්‍ද් බැල්මෙන්
ගැසු නිල් මහනෙල් කැලුම් කිම දැ කුම් සෙය් ත මන වෙය. (483)
___________________________________________________________________________________

අල් අකුරු බහුලව යෙදී‍මේ රීතිය 

                               

සීගිරියේ දක්නට ලැබෙන කලා කෘති පොදු සිංහල සංස්කෘතියට ආගන්තුක වන්නා සේම සීගිරි සිංහලය ද ඊටම ආවේනික වු
ලක්‍ෂණ දරයි. අල් අකුරු බහුලව යෙදීමේ රීතිය ද එවැන්නකි.



  • නූතන සිංහලයේ මූර්ධඡ - ණ අල් වී නොයෙදුනත් සීගිරි සිංහලයේ මූර්ධඡ ණ් යෙදේ.

උදාහරණ:


අද
එදා
අමුණ -- අමුණ්
මුහුණ -- මුහුණ්



  • නුතන සිංහ‍ලයේ මූර්ධජ - ළ අල් වී නොයෙදේ. නමුත් සීගිරි සිංහලයේ මූර්ධඡ ළ් බහුල ය.

උදාහරණ:


අද
එදා
ඇසළ -- ඇසෙළ්
කොමළ -- කොමුළ්



  • සිංහලයේ අල්පප්‍රාණ අක්‍ෂර 10 කි. නමුත් නුතන සිංහල පදයක අවසානයේ දී වැඩිපුර ම යෙදෙනුයේ ක් - යන්න හා ත් යන්න පමණි. නමුත් සීගිරි සිංහලයේ වෙනත් අල්පප්‍රාණ අක්‍ෂර ද පදාවසානයේ හමු වේ.

උදාහරණ:




ග් ජ් ට් ඩ් ද් ප් බ්
අද -- අග ඇවිත් තුටු කොමඩු අද අපි කලබ
එදා -- අග් අවුජ් තුට් කොමඩ් අද් ඇප් කලබ්



  • සම්ප්‍රදාන විභක්ති ප්‍රත්‍ය වන ට - යන්න ද සීගිරි ගී වල අල් - ට ලෙස යෙදීම.

උදාහරණ:


අද
එදා
අපට -- අපට්
කුමට -- කුමට්



  • නුතන සිංහලයේ පද අවසානයේ අල් නොවන ය - යන්න හා ර - යන්න ද සීගිරි සිංහලයේ අල් වී යෙදේ.

උදාහරණ:



අද
එදා
(ය්) අග්බෝ -- අග්බොය්
(ර්) උතුරු -- උතුර්




_________________________________________

නව ප‍්‍රාණාක්‍ෂර දෙකක්

                     

සීගිරි ගී වෙතින නව ප්‍රාණාක්‍ෂර දෙකක් ද , පිළි දෙකක් ද හමු වෙයි. එනම් " " සහ "" වේ. මෙහි දී,



  • කෙටි "" යන්න සහිත පද කීපයක් සීගිරි ගී අතුරින් හමු වේ.

උදාහරණ,
ළ ඇත්තන් , දිග ඇසිනි



  • දික් "" සහිත පද කීපයක් ද හමු වන අතර එවැනි පද විරල වේ.

උදාහරණ,
ළ ඇ තුබු සෙය්



  • මෙහිදි "ඇ" විභක්ති ප්‍රත්‍යක් ලෙස ද පූර්ව ක්‍රියා ප්‍රත්‍යක් ලෙස ද සීගිරි ගීවල යෙදී තිබීමෙන් සිංහලයාගේ භාෂා ප්‍රභූත්වය පැහැදිලි වේ.

උදාහරණ:




අද
එදා
ආධාර විභක්ති ප්‍රත්‍යක් ලෙස
අතෙහි -- අතැ
පූර්ව ක්‍රියා ප්‍රත්‍යක් ලෙස
ගෙන -- ගෙනැ

________________________________________________________

නව ගාත්‍රාක්‍ෂර

         

  • එතෙක් සිංහලයහි ව්‍යවහාර නොවූ ‍ගාත්‍රාක්‍ෂර කීපයක් ද සීගිරි සිංහලයෙන් හමු වේ. පසු කලෙක " සඤ්ඤක අක්‍ෂර " ලෙස හඳුන්වනු ලැබුණේ මේ ගාත්‍රාක්‍ෂරයි. මේ අකුරු සීගිරි ගී අතර බහුල වේ. සඤ්ඤක - ග භාවිත ගී දෙකකට උදාහරණ.

"පලාවතුවෙලැ අරම්බ් තැනු සඟපල් බතීමි මෙ ගීය ලීමි"    (17)

" වහගලු පිරිවෙන් වැසි සඟල් පැවිජ්ජෙමි මෙ ගී ලීමි"    (552)



  • අද සිංහල‍යේ බහුලව යෙදෙන සඤ්ඤක අක්‍ෂර හතර වන ( , , , ) සහිත පද ද සීගිරි සිංහලයේ හමු වේ.

උදාහරණ:



අද
එදා
(ඟ) මඟ -- මංග
(ඬ) කඬ -- කාණ්ඩ
(ඳ) මඳ මරු -- ‍මන්‍ද ‍මරු
(ඹ) අරඹ -- අරම්බ්

සීගිරි ඉතිහාසය

 සීගිරි ඉතිහාසය ගැන මෙසේද දැක්විය හැක 

 

සීගිරි ලළනාවෝ


පෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේ ද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පයේ ලොව අටෙවනි පුදුමයට පාත්‍රවන්නට තරම් උතුම් ලද මහා කලා ගාරයකි. අපේ වංශ කතාවලට අනුව සීගිරි කතා පුවත ගොඩ නැගෙන්නේ සිගිරියේ නිර්මාතෘවරයා වූත් දුක්මුසු අවසානයකට භාජනය වන පළමු වන කාශ්‍යප රජු වටා ය. මෙම මහා කලාගාරය පිහිටා තිබෙන්නේ කොළඹ- ත්‍රිකුණාමලය මාර්ගයේ දඹුල්ලේ සිට සැතපුම් 9ක් පමණ උතුරු දෙසට යන විට ය. සීගිරිය මාතලේ දිස්ත්‍රික්කෙය් උතුරු දිග තැනිතලාවේ දකුණු සීමාවෙහි මලය රට කඳු පාමුලට කිට්ටුව ඉනාමලුව කෝරලයේ ශේෂ කඳු පංතියක් ලෙස පිහිටා ඇත. මෙම පර්වතය තැනිතලාවේ සිට අඩි 600ක් පමණ ඉහළට නැග සිටී. දිගින් කි: මී: 3ක් ද, පළලින් කි:මී:1ක් ද, පමණ වන සීගිරිය තෙය් මුදුනේ විශාලත්වය අක්කර 3කි. ගල් හා ගෙඩාල් සංයුක්ත අතිශෝභමාන වූ මෙම ගෘහ නිර්මාණ සංකීර්ණය ක්‍රි:ව: 5වන සියවස අගභාගයේ දී ඉදි කෙරිණි. මහා පවුරු, දිය අඟල්, ආරක්ෂක කුටි, ස්වභාවික ගල් ආරුක්කු ආදියෙනුත්,මල් උයන්වලින් හා හිරිගල් නිමැවුණු සියුම්ව පිරිමැද සිනිඳු කළ හෙයින් ම කැටපත් පවුර යන නම් ලද මහ පවුරෙනුත් සමන්විත මේ වංකගිරියේ තේජෝබල පරාක්‍රමයෙන් වැඩ සිටින්නේ ශක්තිමත් යෝධයෙක් බව මොනවාට පිළිබිඹු කරමිණි.

ප්‍රධාන අවධි

  • කාශ්‍යප යුගය (ක්‍රි.පූ.3-ක්‍රි.පූ.5 දක්වා)
  • කාශ්‍යප යුගය (ක්‍රි.පූ.475-497 දක්වා)
  • පසු කාශ්‍යප යුගය (ක්‍රි.ව.6-13 දක්වා)
  • අප්‍රකට යුගය (ක්‍රි.ව.13-17 දක්වා)
  • මහා නුවර යුගය (ක්‍රි.ව.17-19 දක්වා)
  • නූතන යුගය (ක්‍රි.ව.19-අද දක්වා)

 
තද පැහැයෙන් යුතුව ක්ෂිතිජය සිප ගනිමින් උතුරට නෙරා යන මහා පව්ව පාමුල අතිශය ප්‍රතාපවත් ව වැදහොත් සිංහරාජයෙකුගේ විලාසෙන් නිමවා ඇති හෙයින් මෙයට සිංහගිරිය හෙවත් සීගිරිය යන නාමය පටබැඳුණි. සිංහරාජ තෙම් සැතපුම් ගණනක් ඈතට විහිදෙන බියමුසු හැඟිමක් දැනවුවත් සිංහරූපය දැකීමෙන් එහි ගිය පැරැන්නන් තරම්ම නුතන යුගයේ මුල් ම පුරා විද්‍යාඥයන් ද, වශීකෘත වු බව 1898 දී ඒච්.සී.පී.බෙල් මහතා ප්‍රකාශ කර ඇත. දැනට ශේෂ ව ඇතත් සිංහයාගේ බාහු යුගලය පමණක් වුව ද කෙනකු තුළ ප්‍රතාපය හා බලය පිළිබද අපුරු හැඟිමක් දැන වීමට ප්‍රමාණවත් බව කැටපත් පවුරේ ලියු මේ ගීයෙන් පැහැදිලි වේ.

  දක්නට ලැබෙන ලක්ෂණ

  • පර්වත මස්තකයේ තිබෙන රජ මාළිගාව
  • ගඩොලින් තැනූ සිංහයාගේ රූපය
  • පර්වත ශිඛරයේ ඇඳ තිබෙන සීගිරි ලලනාවන්
  • සීගිරි කැටපත් පවුර

________________________________________________________

පුරා විද්‍යාත්මක නටඹුන් හා විශේෂ ලක්ෂණ

 

සීගිරිය, දිගුකල් ඛාදනයට ලක්වූ ගිණිකන්දකින් පිටවී (සිසිල් වුණු ආග්නේය පාෂාණ යන්ගෙන් නිර්මාණය වූ පර්වතයකි. ඇල හාත්පස පිහිටි තැනිතලාවෙන් ඉහළට නැගුණු එය ඕනෑම පැත්තකින් සැතපුම් ගණනාවක් ඈතට දිස්වේ. පර්වතය වටා තිබෙන තැන්නෙන් එක්වරම ඉහළට නැගුණු අධික බෑවුමකින් යුක්ත ගොඩනැගිල්ලක් මත එය පිහිටා ඇත. පර්වතය මීටර් 370 ක් උස වන අතර සෑම පැත්තකින්ම ප්‍රපාතාකාරය. බොහෝ ස්ථාන පාදම ලෙසට නෙරා ඇත. අන්ඩාකාර දිගු ආරක්ෂක හැඩයෙන් පහළට ක්‍රමිකව දිවෙන බෑවුමක් ඇත.
ක්‍රි.ව. 5 වැනි සියවසේ කාශ්‍යප රජු විසින් තනන ලද පුරාණ මාළිගයක් සීගිරියෙහි ඇත්තේය. පර්වතයේ සමතලා මතුපිට මාළිගාවක නටඹුන් තිබේ. මැද හරියේ තිබෙන සමතලා බිමෙහි සිංහ ද්වාරයක්ද කුරුටු ගී තිබෙන කැටපත් පිහිටා ඇත. පහළ මාළිගාව පර්වතයේ පහළ බෑවුම හේත්තු වන්නට නිර්මාණය කරන්නේ දිය අගල් තාප්ප හා උද්‍යාන පර්වත පාමුල සිට මීටර් සිය ගණනක් දුරට විහිදී ඇත. මෙම භූමිය මාළිගාවකින් හා බලකොටුවකින් යුක්තය. දැනට තිබෙන ප්‍රමාණවත් නටඹුන් වලින් එය නිර්මාණය කළ අයගේ විශිෂ්ඨ හැකියාව හා නිර්මාණශීලිත්වය පිළිබද අගනා හැගීම් එය නැරඹීමට පැමිණෙන අයගේ සිතෙහි ජනිත කරවයි.
සීගිරි භූමි සැළැස්ම පළමු සහශ්‍රයේ නාගරික සැලසුම් කරණයේ අනර්ඝ උදාහරණයක් ලෙස සීගිරි නිර්මාණය දැකිය හැක. භූමි සැළසුම ඉතාමත් අලංකාර සහ සුක්ෂ්‍යම ලෙස සකස් කරන ලද්දක් ලෙස සැලකේ. සැලසුම් සකස් කිරීමේදි ජ්‍යාමිතික සැළසුම් සහ අවට පිහිටි ස්වාභාවික වස්තූන්ගෙන් පිහිටීම පිළිබදව ඉතා හොදින් නිරීක්ෂණය කර සංයෝග කර ගැළපීම් හා නොගැලපීම් සංකල්පය එක් කොට ඇති බව පෙනේ. පර්වතය බටහිර දෙසින් තිබෙන උද්‍යාණය රාජකීයන් උදෙසා සුදුසු ලෙස සකස්කර ඇත. උද්‍යානයෙහි ජලය රදවා තබා ගන්නා ව්‍යුහය නිර්මාණය කර ඇත. ඒවා සකස් කිරීමේදී පොලව යටින් දිවෙන ජල පීඩන ක්‍රමයක් යොදා ගෙන ඇති අතර මෙයින් සමහරක් අදද ක්‍රියාත්මක මට්මේහි තිබේ. පර්වතයට දකුණින් මිනිස් අතින් නිම කළ ජලාශයකි. මෙවැනි ජලාශ මීට පෙර ශ්‍රී ලංකාවේ වියළි කලාපයෙහිද බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගැනුණි. සීගිරි බිමට පිවිසෙන ස්ථාන වල දොරටු පහකි. ඒවා අලංකාර ලෙස නිමවා ඇති බටහිර දොරටුව රාජකීයන් උදෙසා වෙන්කර තිබුණා යැයි විශ්වාස කළ හැක.
_______________________________________________________

සීගිරිය සංස්කෘතික කෞතුකාගාරයක්

  • ක්‍රි.ව.5 වන සියවෙස් පැවති නාගරික සැලසුම් ක්‍රම හා භූමි නිර්මාණ ක්‍රම
  • ඉන්ජිනේරු විද්‍යාව
  • ජල තාක්ෂණය
  • ගෘහ නිර්මාණ ශිල්පය
  • කලා ශිල්ප හා සාහිත්‍ය

 නැඟී ඇති බලනට - බැලීමි සිහිවියන් සිහිගිරි මනෙදාළ පුරයි සරි - බලන රිසිව බෙයන්ද්

සීගිරිය නැගී බැලීමට ඇති සිංහ ස්වාමියා සිතේ ආශාව සපුරමින් බැලීමි. ඉන් පසු පර්වතයේ රන්වන් කතුන් බැලීමේ ආශාව ද නැති විය. යන්න මෙම කවියේ අදහසයි. තව ද මෙම වාස්තු විද්‍යාත්මක කලාව සදහා පැරණි මිසර හෝ පර්සියන් උද්‍යානවල දක්නට ඇති ජ්‍යාමිතික හෝ සුසන්ගත සැලසුම් ක්‍රම මූලික සිද්ධාන්ත ලෙස භාවිත කර ඇත. මේසා විශාල පර්වතය මත මාළිගා සංකීර්ණයක් ඉදිකිරිම සදහා ගඩොල් රැගෙන ආ සැටි ද පුදුම සහගත ය. මලුපෙත් ගර්භාගාර, සන්නිපාත ශාලා, අතරින් ගෙඩාළුමය පැතිකඩ හා ගල් පොකුණු රැසකින් වට වූ ශෛලමය සිංහාසනය විස්මයෙන් සිත අලලන සුළු ය. සීගිරිය නම් වු මහා වාස්තු විද්‍යාත්මක සැලසුම්කරණ වික්‍රමයේ හදවතත්, කේන්ද්‍රස්ථානයත් වූයේ මේ මාළිගාවයි. ගල මුදුනේ අක්කර තුන හමාරක බිම් ප්‍රමාණයක් වසා ගෙන ඇති මේ සුවිසල් මාළිගය රාජ්‍ය බලයත්, මිනිස් ශ්‍රමයත් කැටි කොට පිළිබිඹු කරන කදිම ස්මාරකයකි. තව ද මාළිගයේ අගය තීව්‍ර කරමින් ඉදිරියට දිවෙනා ශිලා උද්‍යාන, දිය අඟල් හා බුබුළු නඟමින් පතිත වන දියමල් කැලකින් සැලසුම් ලද මේ මහා නිර්මාණය ලොවට කියා පාන්නේ සීගිරි වාස්තු විද්‍යාඥයින්ගේ නිර්මාණ කෞෂල්‍යත් විසිතුරු චින්තනයත් ය.මේ දර්ශනීය උද්‍යාන අතීතයේ ඒක් යුගයක තුරු පෙළින්, මල් ගොමුවලින් හා පස් පියුමෙන් සැදි රාජකීය ජීවිතයේ කාන්තියෙන් හා කෙළි දොළින් ජීවමාන වුන නන්දන උද්‍යානයක් විය. සීගිරිය ලෝ පතළවන්නට එහි ඇති උද්‍යාන කලාව මෙන් ම බිතු සිතුවම් ද මා හැඟි උපකාරයක් ලබා දේ. අව් වැසිවලින් උවදුරුවලට පත් නොවී බිතු සිතුවම් කෝෂයේ සුරැකී ඇති මේ සිතුවම් එක් වකවානුවක පර්වතයේ බටහිර දෙසට වන්නට බිත්තිය පුරා වූයේ කස්සප රජුගේ අන්තඃපුර ලලනාවන් යැයි හැදින්වීමට ඇතැම් වියතුන් උත්සහා දරා ඇත. නමුත් මේ බිතු සිතුවම්වලට වස්තු විෂය වන්නේ අප්සරාවන් හෙවත් දිව්‍යාංගනාවන් ය. මහාචාර්ය සෙනරත් පරණවිතාණයන් පවසන අන්දමට අප්සරාවන් සංකේතාත්මකව වළාකුළු හා විදුලි කෙටීම නිරූපණය කරණ බවත් ය. නමුත් දුරාතීතයේ සීගිරිය නැරඹීමට පැමිණි විනෝදකාමීන්ට පෙනන්නේ සුන්දර වනිතා පෙළකගේ සිතුවම් ලෙසට ය. මෙම සීගිරි සිතුවම් සමකාලීන දකුණු ආසියානු චිත්‍ර සම්ප්‍රදායන්ට ආවේණික සම්භාව්‍ය චිත්‍ර කලාවේ විශිෂ්ට ශ්‍රි ලාංකික නිර්මාණ ශෛලියක් පෙන්නුම් කරයි. තව ද සීගිරියේ ඉතිරි ව ඇති විශේෂ මතක සටහන්වලින් එකක් වන්නේ බිතු සිතුවම්වලට පහළින් කැටපත් පවුර වසා සිටින ගී සමුහයා ය. මෙම ගී "සීගිරි ගී"නම් වේ. මෙම ගීවලින් පෙනී යන අන්දමට දිවයිනේ සෑම පෙදෙසකින් ම පැමිණි කලාකාමීන්ගේ විනෝද නිකේතනයක් බවට සීගිරිය පත් ව තිබූ බව පැහැදිලි වේ. ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කාශ්‍යප රජතුමා සීගිරිය ආලකමන්දාවක් කොට කුවේරයා මෙන් දේවත්වයක් ආරෝපණය කර ගෙන සිටි බව ප්‍රකාශ කරයි.

________________________________________________________

සීගිරි ගී

            

ක්‍රිස්තු වර්ෂ 473 සිට 491 දක්වා රජ කළ මහා කාශ්‍යප රජ සමයේ දී සීගිරිය ජගත් පූජිත කලා නිකේතනයක් බවට පත් විය. සීගිරිය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකීය ඉතිහාස‍යේ සුවිශේෂ ස්ථානයක් ගනු ලබන අතර ම සිංහල සාහිත්‍යය හා භාෂාව ගැන කතා කරන විට සුවිශේෂ ස්ථානයක් සීගිරි කුරුටු ගීවලට හිමි වේ. මෙම ගීවලින් බොහොමයක් 8, 9 හා10 වැනි සියවස්වලට අයත් වේ. සීගිරි ගී ලියා ඇත්තේ සීගිරියේ කැටපත් පවුර මත ය.
පැරණි සිංහල සාහිත්‍යය අතුරින් විශිෂ්ට කවීත්වයක් හා අපුර්ව ප්‍රතිභා ශක්තියක් සීගිරි ගී තුළින් පිළිබිඹු වේ. මේ තුළින් එකළ කවීන්ගේ අව්‍යාජ කවීත්වය හා අනූන ස්වාධීනත්වය හෙළි වේ. මතුපිටින් පෙනෙන අදහසට වඩා ගැඹුරු අදහසක් මෙම ගී තුළින් මතු වේ. සීගිරි ගී ‍‍බොහොමයක් අපුර්ව චමත්කාරයක් ද විශිෂ්ට කවීත්වයක් ද ඉමහත් ප්‍රතිභා ශක්තියක් ද ගැබ් වී ඇත. සීගිරි බිතුසිතුවම්වලින් විචිත්‍රණය කොට ඇති කතුන් ද අවට පරිසරය ආදී විවිධ තේමාවන් ද යොදා ගෙන මේ ගී රචනා කොට ඇත. මෙකල කවීන් තම සිත් තුළ පහළ වූ අදහස් කෙටි කොට පිඬු කොට දක්වා ඇත්තේ සීගිරි කැටපත් පවුරේ ගී ලිවීම අතිශයින් ම දුෂ්කර හෙයිනි. කවිය පිළිබඳ මහා පරිචයක් කාව්‍යකරණයේ ඉමහත් හැකියාවක් හා භාෂා පටුත්වයක් මින් හෙළි වේ. ව්‍යංගාර්ථයෙන් හා ව‍ක්ක්‍රෝක්තියෙන් ද පිරිපුන් ගී විශේෂයක් ලෙස සිගිරි ගී හැදින්වේ.
මෙම සිගිරි ගීවලින් වැඩි කොටසක් ම ගීති නම් ඡන්දස් අලංකාරවලින් රචනා කරන ලද පද්‍ය යයි. යහ ගී පියුම් ගී මත්වල ගී කව් ගී උමතු ගී දුවඟ ගී යොන් ගී ආදී විවිධ විරිත්වලින් බැඳි මේ සීගිරි ගී පද්‍ය සංහ්‍රයක් ලෙස විභාග කර බැලිය හැක. එසේ සීගීරි ගී රචකයෝ තමන් ලියූ ගීවලට යටින් තමන්ගේ නම් ගොත් හා ග්‍රාම නාම සඳහන් කළහ. තවෙකෙක් සිය නාමය යෙදීමට ප්‍රථම තම රැකියාව පවා සඳහන් කර ඇත. මෙසේ රචිත වූ සීගීරි ගී මෙරට විශිෂ්ට පුරා විද්‍යා ඉතිහාසඥයකු වන සෙනරත් පරණ විතාන ශුරීන් දශක දෙකක පමණ කාලයක් තුළ කියන සීගීරි ගී 685න් මුද්‍රණය කොට ඇත.


1.
එළෙනෙ (ල) කුළි මැටියා ලී ගී
බෙයෙන්ද් අවැජ් නොලද් එක් ගීයක් (කීයී මි)
(බස)ක් රන් වනැන් බැලීමී අසිරි සිගිහි ගී
2. ස්වස්ති-
පැඡින් පන් වැසි මෙයල්බතින් ගී
බෙයන්ද් හි රන් වනැන් අ (ස්ද්ව) ස් මියැහියෙජේ
මහනෙල් අත්හි ගත් මෙහිම බුයුත් නොබුයුයෙන්.
3.
සව බරණින් සැජ් ගිරි හිසැ සිටිහි කුමට
යෙහෙළී කියා සො නුමුත අප හිමි බවුදු
(දෙ‍කෙ)ස ලුනෙත්.
4. ගීය
නැ(ගි) අලුයම අවුජ් බලයි සිටියි හි මෙහි මස්
විහිදමි මහද මරු ගස එන තමු (රු) වෙනෙහි සුවද්හි මෙහි
අග්බෝය (හිමියෙමි මෙ ) ගී ලිමි.
5. ගීය
සිතහි යහපත විද බලය (මෙහි) රනවන බුන බලහ නො
මෙ රජමහ සිත රජමහ හම සිහිවන ක(ල)
සෙන් බොදෙවල ලයු ගී.
56. ගීය
ස්වස්ති
තොප නුයුන මිණි විට්නෙන් වැම්මෙන පැහැ දිසෙ(ය්)
නො කෙළෙ ත(මා) න් තෙ(මට්) එ ඉන් (ද) නිම්
තොප සුර බව.
64. ගීය
ස්වස්ති
අගතිනි අත් සලව් මෙහි පොහොන්නෙක් නැතිද
නව බග්ළසන්ද් දුට් මිනිසක් හු නොවජනෙනයි.
103. ගීය
කොමුල් අමඩ් ලෙඩ් ලිනසී
එ බොන්ද මියුර් යහ බැ සී
එ කපල් දල වන් දිගැ සී
මන ජල්(ව)යි (සිත්) නොමු සී
106. ගීය
……….ල සමන ගී
සලතලහි හුණු අකර සෙයින ලයු(තුබු) සිත්
මුළා වෙ මෙනෙ මෙ බෙයදහි රනවනැන දුටුයෙන්
190. ගීය
යහෙ(නි) ගිරි වැසි සලමෙය් හිමියන් ගෙ මෙයලු ගී
ගන ගල් බින්ෙනිෙ දැර සිලග දුට් පැතිතක් සෙය
සොනෙහින්ම ලද් විසට් බ ජු නොහස් තීප
අත්මය් වුයු
334. ගීය
ස්වස්නනනති අග්බොය්මි ලීමි
නිල් ක(ට්) රොට් මලෙකැ අවුණු වැට්කොළ මලසෙය්
සැන්දැ ගැ සිහිවෙන්නේ මහනෙල් වන හය් රන්වන හුන්
492. ලීය
මෙ ගෙත්තමට සිතු(ජු)කෙනෙක්ද එ
කවෙක් හින්දෙ ලී
(මෙ බෙ) ලුව ගී නොහිස් ගී බලත
දක්නා සෙ ගෙති
86. ගීය
නො(ව)න්නොද පුලුදු හුණබජ් නො වරග්න(හ්)
නොසිටිය වෙ දී හැද සමුන්ද කළ පුන්සන්ද උදෙස
306. ගීය
(‍ෙ)මනෙන්මී ලැදි මහ බන්ද්තා පැහැබර සිනා රුස්නා
කතක් හී තොස්නා මිණි අකුසු හීන්හී ලස් ගන්නා
නැඟි ඇති බලනට -බැලැමි සිහිවියන් සිහිගිරි මනෙදාළ පුරයි සරි -බලන රිසිව බෙයන්ද්

 

සඳකඩපහ‍ණේ විකාශනය

සඳකඩපහ‍ණේ ඓතිහාසික පසුබිම

කැටයම් කලාව යනු මහින්දාගමනයෙන් පසුව ලංකාවට ලැබුනු දායාදයක් වශයෙන් දැක්වෙ. ලාංකේය කැටයම් කලාව පිළිබඳ හැදෑරීමේදී වාහල්කඩ, කොරවක්ගල,මුරගල, පියගැටපෙළ මෙන්ම සඳකඩපහණට ද හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.
පැරණි විහාර දොරටුවක අංගයක් වන සඳකඩපහණ පසුකාලීනව රජමාලිගා වැනි ප්‍රභූ ගොඩනැගිලි ආශ්‍රිතවද දක්නට ලැබේ. විහාරයකට ඇතුලු වීමේදී පළමුව පයගැටෙන කැටයම් සහිත වූ අර්ධ කවාකාර ගල් පඩිය "සඳකඩපහණ" ලෙස හදුනාගැනේ. සශ්‍රීකත්වය සහ අභිවෘද්ධිය පිළිබඳ විශ්වාසයන් සමඟ බැදී ඇති සංකේතයක් ලෙස එය මුලදී ගොඩනැගිලි දෙරටු අලංකාරකයක් විය.
මුල් යුගයේ නිර්මාණය වූ සඳකඩපහණ් කැටයමින් තොර වූ අතර පසු කාලීනව හෙළ කලාකරුවාගේ විස්මිත හැකියාවන් මෙම ශෛලමය නිර්මාණය හැඩකරන්නට ඇත. කෙසේවෙතත් සඳකඩපහණ ආශ්‍රිතව සිදුකල පුරාවිද්‍යාත්මක පර්යේෂණ වලට අනුව එය බෞද්ධ පදනමක් සහිතවූත්, දාර්ශනික අගයකින් යුක්තවූත්, විශිෂ්ට නිර්මාණයක් හා ලෝක උරුමයක් ලෙස ද නම්කර ඇත.
"අඩ්ඩචන්දකපද ගණ්ඨිකා" යන පාලි පදයෙන් බිදී මුල් යුගයේදී "අඩසඳ පහණ" ලෙස හැදින්වූ අතර පසුකාලීනව සඳකඩපහණ ලෙස භාවිතා වී ඇත. සඳකඩපහණේ විකාසනය යුග තුනක් ඔස්සේ දැක්විය හැකිය.
එනම් අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය හා පොළොන්නරු යුගයේ සිට මහනුවර දක්වා වූ යුගය වශයෙනි.

 

අනුරාධපුර යුගයේ සඳකඩපහණ  

අනුරාධපුර යුගය යනු බුදු දහමේ ආලෝකය ලංකාවට ලැබුණු හා සීග්‍ර වර්ධනයක් ඇති වූ රජරට කේන්ද්‍ර කරගත් පළමු රාජ යුගයගි. කැටයම් කලාව ඇතුළු අනෙකුත් ශිල්ප ක්‍රම බොහෝමයක වාගේම සඳකඩපහණේ ආරම්භයද මෙම යුගයේ දී සිදුවේ. තවද එහි වර්ධනයේ උපරිම අවස්ථාවද මෙම යුගයේදීම සිදුවීම වි‍ශෙෂ ලක්‍ෂණයකි. විහරදොරටුවක් ආශ්‍රිතව පියගැ‍ට පෙළට යාබදව කැටයම් රහිත වූ හතරැස් පාටිකාව සඳකඩපහණේ ආරම්භක අවස්ථාවයි. අභයගිරියේ සන්නිපාත ශාලාවේ පිහිටි පාටිකාව මෙන්ම ‍ජේතවන විහාර භූමියේ ඇති පාටිකාව ඉහත කරුණට නිදසුන් සපයයි. පසුව මෙහි හතරුස් හැඩය වෙනස්වී අර්ධ කවාකාර කැටයමි රහිත ගල් පුවරුවක් ලෙස සකස් වී ඇත. එවැනි සඳකඩපහණ් ජේතවන විහාර භූමියේ ස්ථාන කීපයකම දක්නට ඇත. එහෙත් තවත් නොබෝ කලක් ගත වනවිට ක්‍රම ක්‍රමයෙන් සඳකඩපහණ කැටයම් කර තිබේ. පළමුව අර්ධ පද්මයද, පසුව සත්ව රූපාවලියද, ඉන් පසුව ලියවැල් ආදී අනෙක් කැටයම් මෙයට ආරෝපනය වී තිබේ.සඳකඩපහණ හා ඒ ආශ්‍රිත කැටයම් පිළිබඳ අධ්‍යනය කිරීමේ දී අනුරාධපුර යුගයේ කැටයම් කරුවාට අද්විතීය ස්ථානයක් හිමි වේ. ඉතා සරල ලෙසත්, චාම් ලෙසත් කැටයම් කිරීම නිසා සඳකඩපහණ මෙම යුගයේදී දැකුම්කළු උසස් නිර්මාණයක් බවට පත් වී තිබේ. තවද ඇත්, අස්, සිංහ, ගව, හංස ආදී සත්ව රූප පිටතට නෙරා එන පරිදි ජීවමාන ස්වරූපයෙන් නිමවා ඇත.
අනුරාධපුර යුගයේ විශිෂ්ටතම සඳකඩපහණ ලෙස සලකනු ලබන්නේ බිසෝමාලිගයේ ඇති සඳකඩපහණයි. එහි කැටයම් ඉතා ගැඹුරින් හා සියුම්ව නිර්මාණය කර ඇත. ඒවායේ ප්‍රාණවත් බවක්ද, සතුන්ගේ ගමන් විලාසයෙන් සංසාර ගමන වේගවත් කර පෙන්වයි. එතරම් තාත්වික වෙනත් සඳකඩපහණක් දැකිය නොහැක. අනුරාධපුර යුගයේ සදකඩපහණ විශිෂ්ට කලා නිර්මාණයක් වීමට බලපෑ කරුණු අතර කැටයම් සීමිත කිරීමත් ඒවාට ජීවමාන ස්වරූපයක් හා ප්‍රාණවත් බවක් ආරෝපණය කිරීමත් දැක්විය හැකිය.


පොළොන්නරු යුගයේ සඳකඩපහණ 


අනුරාධපුර යුගයෙන් පසු එනම් පොළොන්නරු යුගය වනවිට සදකඩපහණ නම් වූ ශෛලමය නිර්මාණයේ මූලික වෙනස් කම් කිහිපයක් සිදුවී ඇත. වැදගත්ම ලක්‍ෂණය වන්නේ කැටයම් බාහුල්‍යයයි. එනම් පොළොන්නරු කැටයම් කරුවා සඳකඩපහණට බොහෝ කැටයම් ආරෝපනය කර ඇත. මුල් යුගයේදී මෙන්
නොව සත්ව රූප වෙන වෙනම පේළිවල නිරූපණය කර ඇත. තවද ලියකම් ද විශාල වශයෙන් වැඩි වී තිබේ. මෙම කැටයම් බාහුල්‍යය නිසා සඳකඩපහණේ පෙර තිබූ චාම්බව හා ප්‍රසන්න බව හීන වී ඇත.
පොළොන්නරු සඳකඩපහණහි දක්නට ලැබෙන මීලඟ සුවිශේෂී ලක්‍ෂණය වන්නේ ගව රූපය ඉවත් කිරීමයි. මේ සදහා හින්ඳු ආගමික බලපෑම් හේතු වී ඇත. ගවයා හින්ඳු ආගමේ පූජනීය සත්වයෙකි, පයට පෑගීම වැලැක්වීම සඳහා ගවයා සඳකඩපහණෙන් ඉවත් කරන්නට ඇත. තවද මෙම යුගයේ ඇතැම් සඳකඩපහණ් වල සිංහ රූපයද ඉවත්කොට ඇත. ඒ වෙනුවට රටා මෝස්තර, ලියවැල් ආරෝපනය වී ඇත. මෙම යුගයේ කැටයම් කරුවා ගල් බිංදු මෝස්තරය, රටා ‍මෝස්තරය ආදී වශයෙන් තවත් තීරු කිහිපයක් සඳකඩපහණට එකතුකර ඇත.පොළොන්නරු යුගයේ සඳකඩපහණ සීමාඝරය හා වටදාගෙය නම් ස්ථානවල පාටිකා ස්ථානවල පාටිකා ස්වරූපයෙන් පවතින නිර්මාණ හමු වේ. විශේෂත්වය වන්නේ අනුරාධපුර යුගයේ ආගමික ස්ථානවල දක්නට ලැබුනු සඳකඩපහණ පොළොන්නරු යුගයේදී බොහෝ විට රජ මාලිගා අසලද දක්නට ලැබීමයි. මෙම යුගයේ විශිෂ්ටතම සඳකඩපහණ ලෙස හදුනාගෙන ඇත්තේ පොළොන්නරු වටදාගෙය ආශ්‍රීතව ඇති සඳකඩපහණයි. මීට අමතරව පොළොන්නරු සඳකඩපහ‍ණේ දැකියහැකි තවත් සුවිශේෂී ලක්‍ෂණයක් වන්නේ සත්ව රූප අර්ධ උන්නත ලෙස කැටයම් කර තිබීමයි.



පොළොන්නරු යුගයෙන් පසු මහනුවර යුගය දක්වා

  පොළොන්නරු යුගය වනවිට කැටයම් බාහුල්‍යය නිසා අර්ධ කවයකට වඩා විශාල වූ සඳකඩපහණ, මහනුවර යුගය වනවිට ඊටත් වඩා වෙනස් හැඩයක් ගනී. එනම් මෙතෙක් පැවති අර්ධ වෘත්තාකාර ස්වරූපය වෙනස් වී ක්‍රමයෙන් ඉදිරියට නෙරාගිය ආකාරයක් දක්වයි. මහනු‍වර යුගය වනවිට සඳකඩපහණෙහි අර්ධ පත්මය සම්පූර්ණ පියුමක් ලෙස නිර්මාණය කොට ඇත. ලියකමින් හා මල් කමින් අලංකරණය වූ නිසා සත්ව රූප ඉවත්ව ගොස් ඇත. ත්‍රිකෝණාකාර ස්වරූපයක් දක්වන මහනුවර යුගයේ හොදම සඳකඩපහණ හමුවන්නේ දළඳා මාළිගයෙනි.

තවද ගංගාරාමය, මහනුවර විෂ්ණු දේවාලය, දෙගල් දෙරුව, ගඩලා දෙනිය, ලංකා තිලක, අස්ගිරි විජය සුන්දරාරාමය වැනි විහාරාරාම වලද මහනුවර යුගයට අයත් සඳකඩපහණ දක්නට ලැබේ.



සඳකඩපහණේ නිරූපිත දාර්ශනික අගය

සඳකඩපහණ විශිෂ්ඨ කලා නිර්මාණයක් ලෙස හැදින්වීමට හේතු වන්නේ එහි ඇති කැටයම් වලින් නිරූපණය වන භාවය හා දාර්ශනිකමය වටිනා කම නිසාවෙනි. මෙහි දාර්ශනික වටිනාකම පිළිබඳ විවිධ මත පලකල උගතුන් අතර මහාචාර්ය පරණ විතාන, මහාචාර්ය එච්. සී. පී. බෙල්, මහාචාර්ය හොකාර්ට්, මහාචාර්ය විනී විතාරණ හා සී. ටී. දේවේන්ද්‍ර යන විද්වතුන් ප්‍රමුකස්ථානයක් ගනී.
සිංහල බෞද්ධ කලා ශිල්පියාගේ කලා කෞශල්‍යය ප්‍රකට කිරීම සඳහා නිරූපිත හොදම නිර්මාණය සඳකඩපහණ බව " හොකාර්ට් මහතාගේ" මතයයි. තවද ඔහු පවසන පරිදි කලා නිර්මාණයක තිබිය යුතු නිර්මලත්වය හා චාම් සුන්දරත්වය සඳකඩපහණෙහි අන්තර් ගත වී ඇත.
ඇත්, අශ්ව, හංස, ගව යන සතුන් හතර දෙනාගෙන් සැඳුම්ලත් අලංකාර සත්ව පේලිය පමණක් විග්‍රහ කරණ එච්. සී. පී. බෙල් නම් වු පුරා විද්‍යාඥයා මීට වෙනස් වූ අදහසක් ප්‍රකාශ කරයි. ඔහුගේ මතයට අනුව මෙම නොනැවතී ගමන් කරණ සිවුපාවුන් හතර දෙනා මගින් සිවු දෙසින් එන භික්‍ෂූණ් වහන්සේලාට එකී ආරාමය විවෘතව ඇති බව ප්‍රකාශ වේ.
සඳකඩපහණ හා ඒ ආශ්‍රිත කලා නිර්මාණ වල ඇති සෞන්දර්යාත්මක බව අභිබවා, වෙනස් ආරයකින් පරීක්‍ෂණ පැවත් වූ මහාචාර්ය විනී විතාරණ මහතා මෙහි කැටයම් සම්භන්ධයෙන් විශේෂිත වූ අදහස් ප්‍රකාශ කරයි. ඔහුගේ මතයට අනුව සඳකඩපහණ සූර්ය හා චන්‍ද්‍ර යන දෙවි වරුන් දෙදෙනා හා සශ්‍රීකත්වය ඇදහීම සඳහා නිර්මාණය කරණ ලද්දකි. ඔහුට අනුව පද්මය සෞඛ්‍ය හා වාසනාව නිරූපනය කරයි, ලියවැල සියළු වෘක්‍ෂලතා වල ජීවය සංකේතවත් කරයි. තවද මෙහි දැක්වෙන සත්ව රූප විවිධ දෙවිවරුන්ගේ වාහන සංකේතවත් කරයි. නිදසුනක් ලෙස හංසයා බ්‍රහ්මගේ ආසනයද, ඇතා ඉන්‍ද්‍රගේ අසනය බවද දක්වයි.
සී. ටී. දේවේන්‍ද්‍ර මහතා සියළු සඳකඩපහණ් පිළිබඳ පොදු මතයක් දක්වයි. ඒනම් " සඳකඩපහණ යනු විහාර හා ගෙඩනැගිලි දෙරටු අලංකාර කිරීම සඳහා යෙදාගත් සාර්ථක උපායක්" ය යන්නයි.
මෙම සියළු විද්වත් මතවාද අභිබවමින් සමස්ථ බෞද්ධ මතයට සාපේක්‍ෂ වන පරිදි හරවත් හා සාධාරණ මතයක් ඉදිරිපත් කිරීමට මහාචාර්ය පරණ විතාන මහතට හැකිවිය. ලංකාවේ සියළු සඳකඩපහණ් පිළිබඳ අධ්‍යනය කිරීමෙන් පුසුව "අනුරාධපුර බිසෝ මාලිගයේ සඳකඩපහණ" විශිෂ්ටතම සඳකඩපහණ ලෙස එම මහතා විසින් නම් කරනු ලැබීය. ලංකාවේ පමනක් නොව දැනට ලෝකයේ ඇති වටිනාම සඳකඩපහණ ලෙසද මෙය සලකනු ලබයි. පරණ විතාන මහතා එම සඳකඩපහණ ආශ්‍රිතව තම විග්‍රහය ඉදිරිපත් කරයි.
පළා පෙති මෝස්තරය, නොනැවතී ගමන් කරන සිවුපා රූප පේලිය, විශාල ලියවැල, හංසා වලිය, කුඩා ලියවැල, අර්ධ පද්මය යනාදී වශයෙන් ප්‍රධාන කැටයම් ඔස්සේ පරණ විතාන මහතා අදහස් ඉදිරිපත් කරයි. ගිනිසිළුවන් පිටතට විහිදෙන පළා පෙති මෝස්තරයෙන් දැක්වෙන්නේ, රාග, ද්වේශ, මෝහ ගින්නෙන් සත්වයා දැවෙන බවයි. නොනැවතී ගමන් කරන ඇත්, අශ්ව, සිංහ හා ගව සත්ව රූප පේළියෙන්, ජාති, ජරා, වියාධි, මරණ, යනාදී ඉපිද ඉපදී මැරි මැරී යන භව චක්‍රය නිරූපණය කරයි. විශාල ලියවැල තන්හා ලතාවයි මෙලොව උපදින සියළු සත්වයෝ එකී තෘෂ්ණා ලතාවෙන් වෙලී බැදී පැටලී සිටින බව දක්වයි. හංසාවලිය මගින් පෙර කී තෘෂ්ණා ලතාවෙන් මිදීම සඳහා ආර්ය මාර්ගයට පිළිපන් අර්ය ශ්‍රාවකයන් නිරුපනය කරයි.
කුඩා ප්‍රමාණයේ ලියවැල ආර්ය මාර්ගයේ හැසිරීම නිසා තුනී කරගෙන ඇති තෘෂ්ණාව නිරූපණය කරයි. විකසිත අර්ධ පද්මය බ්‍රහ්ම ලෝකය හෝ නිර්වාණය නිරූපණය කරයි.

සඳකඩපහණේ රූකම්වලට නිදසුන්
මෙම බෞද්ධ දාර්ශනික සිද්ධාන්තය අනුරාධපුර බිසෝමාලිගයේ සඳකඩපහණ සේම තවත් බොහෝ සඳකඩපහණ් වලට තේමාව වූ බව සඳහන් කල හැකිය. නමුත් මෙය සියළු සඳකඩපහණ් වල තේමාව ලෙස ගත නොහැකිය. මන්ද යත් මෙම තේමාවෙන් තොර සඳකඩපහණ් ලංකාවේ මෙන්ම ඉංදියාව, චීනය වැනි වෙනත් රට වලද දැකිය හැකි නිසාවෙනි. නමුත් සඳකඩපහණ මගින් සංසාරයත් නිවණත් සංකේතවත් කර ඇත්තේ සිංහල කලා කරුවා පමණි.

චායාරූප ගැලරිය පහත ඇත

අනුරාධපුර යුගයෙන් ඇරබෙන සඳකඩපහණේ හැඩය පවා පසු කාලයේ දී වෙනස් වි ඇත. මුල් යුගයේ දී කැටයම් රහිත පාටිකා ලෙස තිබිනි. පසුව ක්‍රමයෙන් අර්ධ කවාකාර හැඩයක් ගෙන කැටයම් වලින් අලංකාරවත් විය. ඒ ඒ යුගයන් අනුව කැටයම් වල ස්වරූපය වෙනස් වෙමින් පැවත ආවේය. භාරතයෙන් බුදු දහමත් සමඟ ලංකාවට පැමිණි කැටයම් කලාවේ එක් අංගයක් වූ සඳකඩපහණ අනුරාධපුර, පොළොන්නරු, මහනුවර ආදී යුග ඔස්සේ විකාසනය වී පසුව එය චීනය, ජපානය, බුරුමය, තායිලන්තය වැනි රටවල් කරා ද ව්‍යාප්ත වී ඇත.

උපුටා ගැනීම:-විකිපීඩියා අඩවියෙනි...

 

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්


සඳකඩපහණ යනූ‍වෙන් හැදින්වෙනුයේ පඩිපෙළෙහි අවසාන පඩියයි.එය අටුවාවෙහි විස්තර කොට ඇත්තේ "සොපාන හෙට්ටිචන්දපාෂාණ" යනුවෙන්ය.එනම් පියගැට පාමුළෙහි ඇති අඩසඳක හැඩයේ ගල්පුවරුව යනුවෙනි. පසුව මෙය අලංකාර ලෙස නිර්මාණය කිරීම පුරුද්දක් ලෙස කෙරිණ. සඳකඩපහණ අනුරාධපුරයේ ගොඩනැගිළි තැනීම ඇරඹුන මුල් කාළයේදීම එනම් ක්‍රි.පු. 3 වන සියවසේදී ආරම්භ වු බව සිතිය හැක.සඳකඩපහණ හත්වන හා නවවන සියවස්වලට අයත් වේ. මුල් කාළයේ මෙය කැටයම් වලින් තොරව චාම් අන්දමින් නිමවා තිබුණි. පසු කාළයේදී කැටයම් වලින් සැරසු බව සිතිය හැක.පසු කාළයේ වුවද කැටයම් සහිත සඳකඩපහණ යොදන ලද්දේ පිළිම ගෙවල් වැනි වැදගත් ස්ථාන සදහාය.

අනුරාධපුර අභයගිරිවිහාරයේ බිසෝමාළිගාවේ ඇති සඳකඩපහණ කලාත්මක අතින් උසස්ම නිර්මාණයක් ලෙස සැළකේ. පැරණි විහාරයන්හි කැටයම් අලංකාර වැනි‍ දේ අගය නොකළ යුතු දේවල් ලෙස සැළකින. ඒ නිසා කැටයම් යොදන ලද්දේ පඩිපෙළවල් වැනි පාගාගෙන යන ස්ථානවලටය. මහාචාර්ය පරණවිතාන මහතාගේ මතය අනුව මෙම කැටයම් වලින් බෞද්ධ අදහස් පිළිමගෙවල්වලට ඇතුල්වන තැනැත්තාට සිහිපත් කරවයි. එතුමාගේ අදහස් වලට අනුව අඩකවයේ වටයේ ඇත්තේ කලාත්මක ලෙස නිරෑපණය කරන ලද ගිනි දැල්ලයි.එයින් අදහස් වන්නේ සාමාන්‍ය ලෝකය කරදර,දුක්ගැහැට,වලින් පිරී තිබෙන බවයි.
අනතුරුව දැක්වෙන සතුන් සතර දෙනාගෙන් ලෝකයෙහි ජීවත්වන අයට මුහුණදීමට සිදුවන ජාති,ජරා,ව්‍යාධි,සහ මරණ යන සතර භයයි.අනතුරුව දැක්වෙන ඝන ලියවැල මෙම කරදරවලට මුල්වන තෘෂ්ණාව දක්වයි.ඊ ළඟට දැක්වෙන හංස පේළියෙන් කියවෙනුයේ බුද්ධිමත් පුද්ගලයන් ලෝකයේ පවතින නරක අතහැර යහපත් ධර්මය අනුගමනය කරන බවයි.එසේ තෝරාගත් විට ක්‍රමයෙන් තෘෂ්ණාව තුනීවන බව දැක්වීමට ඊළඟට තුනී වු ලියවැලක් දක්වා ඇත.අවසාන වශයෙන් නෙලුමෙන් දැක්වෙනුයේ මෙම ස්ථානයට ඇතුළුවීමෙන් පසුව සිතේ ඇතිවන පිරිසිදු බවත් එය නිර්වාණයට මාර්ගය බවත් ය.
පොළොන්නරැ යුගයේදී එනම් දොළොස්වන සියවසේ දී හින්දු ආගමික බලපෑම තදින්ම ඇතිවීමත් සමඟ ගවරූපය ඊශ්වර දෙවියන්ගේ වාහනය ලෙස සළකන හෙයින් එය කැටයම් යලින් ඉවත් කරන ලදි.පසු කාළයේදී විවිධ හැඩයෙන් යුතු සඳකඩපහණ් දක්නට ලැබේ.

සඳකඩපහණේ නිමිත්ත

  • එම්.සී.පී.බෙල් මහතා ප්‍රකාශ කරනු ලබන්නේ සඳකඩ පහණ සතර දිසාව නිරූපණය කරන්නක් බවයි. වින්සන් ද ස්මිත් ඡේ. ඡී. ප්‍රගල්, බෙන්ඡමින් රෝලන්ඩ් ද යන අය ද බෙල්ගේ අදහස අනුමත කරයි.
  • සෙනරත් පරණවිතානමොහු‍ගේ මෙම අදහස අනුව සඳකඩ පහනේ අග පිහිටි කවාකාර තීරුවේ පෙනෙන ගිනිදල් මෝස්තරය කමාග්නියේද කෝධාන්තියේද සංකේතයකි. ඇතා අශ්වයා ,සිංහයා,වෘෂභයා, යන සතුක් සිව්දෙනා සංකේතවත් කරන්නේ ඡාති,ඡරා,ව්‍යාධි, මරණ යන සතර බියයි.ලියවැල වු කලී තණ්හාවේ සංකේතය වන ලතාවයි. හංස රූප අභිනිෂ්ක්‍රමණය ද මැද පියුම් ශ්‍රද්ධාවද දක්වන සංකේතවේ. මේ අනුව මුළු සදකඩපහණ ම සංසාරය පිළිබඳ සංකේතයකි. තවද සදකඩපහණ අර්ධ කවයක හැඩයෙන් දක්වන නමුත් එය සම්පූර්ණ කවයකින් අඩක් පමණ බවත් සියලු භවවලින් ගහණ වූ භව චක්‍රය එයින් නිරූපිත වන බවත් පරණවිතාන මහතා කියයි.මෙම අර්ථකථනය නිර්මානාත්මක වූවද සංසාරය එතෙර වීම වැනි ශුද්ධ වූ අදහසක් නිරූපනය වන සදකඩපහණ ප‍යට පෑගෙන ස්ථානයක තබනු ඇතැයි ද යන සැකය මතු වේ.




 

 

 





                                           සඳකඩපහණක සැලැස්ම හා පිහිටීම 



___________________________________________________________________________________
අනුරාධපුර යුගය




බිසෝ මලිග‍යේ පිළිමගෙයි සඳකඩපහණ: -


දාර සහිත සඳකඩපහණක්: -




මහසෙන් මාලිගාවේ පිළිමගෙයි සඳකඩපහණ:-


සිංහ රූපය රහිත අභයගිරියේ සඳකඩපහණ:-



අභයගිරියේ සන්නිපාත ශාලාවේ පිහිටි පාටිකාව: -



පාටිකාව අඩ කවයකට පරිවර්ථනය වීමේඅවස්ථාවක්: -


අඩ කව ආකාරය ගත් කැටයම් රහිත සඳකඩපහණක්: -


___________________________________________________________________________________

පොළොන්නරු යුගය

 

සීමාඝරයේ පාටිකාව -පොළොන්නරුව:-



වටදාගෙයි සඳකඩපහණ:-




බද්ධ සීමා ප්‍රාසාදයේ උතුරු පැත්තෙහි සඳකඩපහණ:-


බද්ධ සීමා ප්‍රාසාදයේ දකුණු පැත්තෙහි සඳකඩපහණ:-

 _______________________________________________________

මහනුවර දළදා මාලිගයේ සඳකඩපහණක්:-



මහනුවර දළදා මාලිගයේ සඳකඩපහණක්:-


හනුවර ගංගාරාමයේ සඳකඩපහණ:-


දෙවුන්දර විහාරයේ සඳකඩපහණ :-

 _______________________________________________________

බෙලිගල සඳකඩපහණ :-



මුතියංගනයේ සඳකඩපහණ බදුල්ල:- 



මිහින්තලේ සෙල්ලිපි සහිත සඳකඩපහණ:-